Language Switcher

V2025

අද සමහරුන් බුදුදහම සටන් පාඨයක් කරගෙන - රාජිත

බටහිර වෛද්‍ය විද්‍යාව ද අද නවීකරණය වෙලා. සිසේරියන් සැත්කම් එදා තිබුනේ නැහැ. වෛද්‍යවරුන් රෝග නිශ්චය කළේ තම දැනුම අනුවයි. වර්තමානයේ සිසේරියන් සැත්කම් සහ වෛද්‍ය ෂාෆි ගැන කියනවා. අද දරු ප්‍රසූත 4500 ක් සිදු කළොත් 4005 ක් ම සිසේරියන් සැත්කම් කියලා කියනවා. එදාට වඩා කෙටි ක්‍රම අද ඇවිත් තිබෙනවා. රෝග විනිශ්චය පහසු වී තිබෙනවා. නමුත් එදා රෝග විනිශ්චය සිදු කළේ බුද්ධියෙන්.”එම නිසා වෛද්‍ය විද්‍යාව පෝෂණය කිරීමට උපකාරී වන නවීකරණයට විරුද්ධ නොවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඉල්ලා සිටියි.

අඩසියවසක ශ්‍රී ලාංකේය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ පෙරගමන්කරු වන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී ඊයේ (10) පස්වරුවේ පැවැත්විනි.

උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"එක්සත් ජාතික පක්ෂ රජයන් සමයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් සමයේ ද විවිධ සංස්ථා බිහි කළා. එම සංස්ථා මගින් විශාල මෙහෙවරක් ඉටු කළේ පෞද්ගලික අංශය ද නිරීක්ෂණයට ලක් කරමින්. ආයුර්වේද ඖෂධ සංස්ථාව සියලු අභියෝගවලට මුහුණ දෙමින් අද 50 වන සංවත්සරය පවත්වනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ඉදිරියට ගෙනයාමට ඖෂධ නිෂ්පාදනය කිරීමට සංස්ථාව විශාල රුකුලක් ලබාදෙනවා. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම නිසා රුපියල් කෝටි ගණනක මුදලක් විදේශීය රටවලට ඇදී යනවා. එය වළක්වා ගැනීමේ අරමුණින් නිකවැරටිය, මැදවච්චිය වැනි ප්‍රදේශවල ආයුර්වේද ඔසු උයන් ආරම්භ කළා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු ඔසු උයන් ද දියුණූ කළ අතර, ගොවීන්ගේ ආයුර්වේද නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළා. සංස්ථාවේ වැඩපිළිවෙල ගමට ගෙනයාම ඉතාම වැදගත්. බටහිර වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වාදීමට ප්‍රථම මෙරට ක්‍රියාත්මක වුයේ දේශීය වෛද්‍ය ක්‍රමයයි.

දේශීය වෛද්‍ය ක්‍රමය දියුණූ කිරීමට රාජ්‍ය අංශ සහාය ද ලැබුනා. අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමග දේශීය වෛද්‍ය ක්‍රමය පසුබෑමකට ලක් වුනා. නමුත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අද දිනයේ ද භාවිතා වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. විවිධ රෝග සදහා බටහිර වෛද්‍ය ක්‍රමයේ නොමැති ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තිබෙනවා. සාම්ප්‍රධායික වෛද්‍යවරුන් සතුව පැවැති පුස්කොළ පොත් 600 ක් නූතන සිංහලයට පරිවර්තනය කිරීම, ආයුර්වේද ඖෂධ සංග්‍රහයක් ආරම්භ කිරිම පසුගිය කාලයේ මා විසින් දියත් කළා. සමහර ඖෂධ භාවිතා කිරීමේ දී අතුරු ආබාධ තිබුනත් සිංහල වෛද්‍ය ක්‍රමයේ එවැනි ආබාධ ඇති වන්නේ නැහැ. සිංහල වෛද්‍ය ක්‍රමය වෙදමහතෙකු වගේ නොව නවීන ක්‍රමයට සමාජ ගත කළ යුතුයි. විද්‍යාත්මකව දියුණූ කළ යුතුයි. කයිවාරු ගැහුවට එය ලෝකය පිළිගන්නේ නැහැ.

වෛද්‍ය විද්‍යාව අනාගත පරම්පරාවට රැගෙනයාමට හැකි වන්නේ එවිටයි. රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරු 700 කට රැකියා අවස්ථා ලබාදුන්නා. එවැනි වෛද්‍යවරුන් 900 ක් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා. බටහිර ඖෂධ මෙන් අපි ආයුර්වේද ඖෂධ පිළිබදව ද පර්යේෂණ පැවැත්විය යුතුයි. පර්යේෂණ පවත්වා ඔප්පු කිරීම තුලින් එය ලෝකයට හදුන්වා දෙන්න පුළුවන්. නාවින්නේ පිහිටි බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනය මගින් පර්යේෂණ ආරම්භ කරන විටත් ඇතැමි අය විරුද්ධ වුනා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය කියන්නෙත් සමහරුන්ට සටන් පාඨයක්. සටන්පාඨ වලින් වැඩක් නැහැ. අපේ සංස්කෘතිය, ආගමදහම, දේශීය වෛද්‍ය ක්‍රමය ඉන්දියාව සමග සංකලනය වී තිබෙනවා. කයිවාරු ගහලා රට දියුණූ වන්නේ නැහැ. කයිවාරු වලින් නොව, කටුක ගමනකින් ගිය රටවල් අද දියුණූ වී තිබෙනවා.

මා බලයට පත් වූ පසු දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට සහයෝගය ලබාදුන්නා. බටහිර වෛද්‍ය ඔසුසල් මෙන් ආයුර්වේද ඔසුසල් ද නවීකරණය කිරීමට පියවර ගත්තා. එම නවීකරණයට ද ඇතැමුන් විරුද්ධ වුනා. පසුව විවේචනය කළ අයට යථාර්ථය තේරුනේ ලාභ ලබන විටයි. ආයුර්වේදය කියා නම සටහන් කළාට ඖෂධ මිල දී ගන්නේ නැහැ. නවීකරණය කළ යුතුයි. ආයුර්වේදය දියුණු කිරීමේ දී ඉන්දියාව සමග ඇතිකර ගන්නා සබදතා ඉතාම වැදගත් වෙනවා. විද්‍යාවේ සීමා බන්ධන නැහැ. ආයුර්වේද ඔසු උයන් සංවර්ධනය කරමින් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම ඉතාම වැදගත්.”

මෙහිදී ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි. ජාතික සේවක සංගමය සහ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සුබ පැතුම් පණිවුඩ එක් කළ අතර මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියට සමරු තිළිණ දෙකක් ද පිරිනමන ලදි. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන දෙකක් වන නෙල්ලි රසකිද තේ පානය සහ හීන් බෝවිටියා සහ ඉගුරු තේ පානය ද මෙහිදී හදුන්වා දෙන ලදි. දිවයින පුරා පිහිටි සතොස ශාඛා 420 ක් හරහා ආයුර්වේද ඖෂධ සංස්ථා නිෂ්පාදන අලෙවි කිරීම ද මෙම අවස්ථාවේ දී ආරම්භ වූ අතර, සේවක සේවිකාවන් සදහා අග්‍රහාර රක්ෂණ ක්‍රමය හදුන්වාදීමේ යෝජනාවලිය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. 50 වන සංවත්සරය වෙනුවෙන් පැවැති චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් සහ ත්‍යාග පිරිනැමීම, සේවක සේවිකාවන්ගේ දරුවන්ට තිළිණ පිරිනැමීම, සියලු සේවකයින්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීම සිදු කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න අතිනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම් එල්.එච් තිළකරත්න, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංග, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගුණපාල පතිරණ, කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී ලාල් වික්‍රමාරච්චි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ සේවක සේවිකාවන් එක්ව සිටියහ.