අල්ලස් චෝදනාවට වැරදිකරුවූ දේශපාලනඥයා : ජනාධිපති සමාවෙන් නිදහස් !

අල්ලස් චෝදනාවට වැරදිකරුවූ දේශපාලනඥයා : ජනාධිපති සමාවෙන් නිදහස් !

අල්ලස් චෝදනාවකට වරදකරු වී වසර 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් විසින් ඔහු නිදහස් කරන ලදී.

වරකාපොළ ප්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණයෙන් නියම කළ දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කොට තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල යටතේ අදාළ සභාපතිවරයා මෙලෙස නිදහස් කොට ඇතැයි හෙළි විය.

මීට වසර 23කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටියදී ජනාධිපති සමාව යටතේ මෙලෙස නිදහස් කොට ඇත්තේ වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇති දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.

අභියාචනාධිකරණයේ තීන්දුව කියවා දීම සඳහා මෙම නඩුව උපගොනුවක් මගින් කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු ලේඛන සහිත ගොනුවක්ද රැගෙන විත්ති කූඩුවට ගොඩ විය.

චෝදනාව අල්ලස් : නිදහස් කරන්නේ සිරිසේන !

ඒ අවස්ථාව වනවිටත් විත්තිකරුට ජනාධිපති සමාව ලැබී ඇති බව සඳහන් ලිපියක් අධිකරණ අමාත්‍යාංශය විසින් කොළඹ මහාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට එවා තිබූ අතර, එම ලිපිය නඩු ගොනුවේ ඇතුළත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(ඇ) යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල මත විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කොට ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය එවා තිබූ ලිපියේ සඳහන්ව තිබූ අතර, ඒ අනුව විත්තිකරුට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් ඔහු මුදාහැරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

1995 ජනවාරි මස පළමුවැනිදාත් ජනවාරි මස 31 වැනිදාත් අතර කාලයේ වරකාපොළදී රජයේ සේවකයෙකු වන වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට විත්තිකරුට එරෙහිව චෝදනා පහක් යටතේ නඩු පවරා තිබිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ හමුවේ පැවැති නඩු විභාගයේදී වරකාපොළ ප්‍රදේශයේ උඩුගම, තඹදිය හා ඒවිටිගල යන මාර්ග ඉදිකිරීම සඳහා විත්තිකාර සභාපතිවරයා කොන්ත්‍රාත්කරුගෙන් අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා තුනකට ඔහු වරදකරු කරමින් 2009 ඔක්තෝබර් 29 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

විත්තිකරු වරදකරු කළ චෝදනා තුනට ඔහුට වසර 18ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 06ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කොට තිබිණි.

එම සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 15,000ක දඩයක් හා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 25,000ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට නියම කොට තිබූ අතර, එම දඩ මුදල් හා දණ්ඩනය නොගෙවුවහොත් අමතර මාස 36ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කොට තිබිණි.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගයට හා දඬුවමට එරෙහිව විත්තිකරු 2010 මාර්තු මස 31 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර එය විභාග කළ අභියාචනාධිකරණය, මහාධිකරණයේ තීන්දුව තහවුරු කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කොට ඇත.

එසේ තිබියදී 2019 අප්‍රේල් 29 දිනැති ලිපිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(ඇ) යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල මත ලක්‍ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව දැනුම් දී තිබිණි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න