Language Switcher

V2025

තිලංගගේ ඉරිදා ලක්බිමත් වහයි : සේවක මණ්ඩලය පාරටම වැටෙන ලකුණු !

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන 'ලක්බිම 'පුවත්පත වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (11) තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඊයේ කාර්ය මණ්ඩලය අමතා ඒ බව දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබේ.

ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් සුමති නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ දිනපතා ලක්බිම පුවත්පත මිට මාස 6කට පමණ පෙර වසා දැමුණු අතර මේ සතියේ සිට ඉරිදා ලක්බිම පුවත්පත ද වසා දැමීමට ඊයේ පැවති සාකච්ඡාවක දී තීන්දු කර ඇත.

දිනපතා ලක්බිම පුවත්පත වසා දමන අවස්ථාවේ එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වීමත් සමග කඩදාසි මිල අධික ලෙස ඉහළ යාම නිසා පුවත්පත වසා දමන බවය.

1994 වසරේ එනම් වසර 25කට පෙර ආරම්භ කළ ලක්බිම පුවත්පතේ ආරම්භ කතුවරයා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය. එම පුවත්පත ලැබූ ජනප්‍රියතාවත් සමග 2000 වසරේ දී දිනපතා ලක්බිම පුවත්පත බිහි විය.

සුන්දර නිහතමානී ද මෙල්, ජටිල වැල්ලබඩ, අනුර හොරේසස්, සමන් වගආරච්චි, පසන් සමරවික්‍රම, සම්පත් ලක්මාල්, චාමර ලක්ෂාන් මාධ්‍යවේදීහු ලක්බිම පුවත්පතට සම්බන්ධ වී විවිධ යුගවල කටයුතු කළහ.

මේ වන විටත් ලක්බිම පුවත්පතට සම්බන්ධ වී මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් 90 දෙනෙකු පමණ කටයුතු කරන අතර ඔවුන්ගේ රැකියා අවස්ථා ද මේ සමග අහිමි වී වනු ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අදහස් දැක්වූ 'ලක්බිම' කර්තෘ සම්පත් දේශප්‍රිය පැවසුයේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් වෙළඳ දැන්වීම් අවමවිමේ තත්වය මත තවදුරටත් අධික පාඩු පිට පුවත්පත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි.

කෙසේවුවද මෙවර සති අන්ත කලාපය ද කෙසේ හෝ මුද්‍රණය කරමින් පුවත්පත අඛණ්ඩව පවත්වා ගෙනයාමට උත්සහයක් දරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.