පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව, ජනාධිපති සිරිසේන හමුවී සාකච්ඡා කර ඉදිරි කටයුතු තීරණය කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව එම කමිටුවේ බහුතරය ප්‍රතික්ෂේප කර තිබේ.
කමිටු සාමාජිකයෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊයේ (11) විශේෂ තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේ එම යෝජනාව සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වෙයි.
ජයම්පති සහ නලින්ද දැඩි ස්ථාවරයක !
කමිටුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානම් නැති බව කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් හමුවීමට අවශ්‍යනම් කමිටුව රැස්වීමට ප්‍රථමව සාකච්ඡා කළ හැකිව තිබූ බවත් ජනාධිපතිවරයා සම්බන්ධව ද කරුණු සාකච්ඡාවට ගැනෙන අවස්ථාවක මෙලෙස හමුවක් යොදා ගැනීම සදාචාර සම්පන්න නොවන බවට දැඩි ස්ථාවරයක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සිටින බවත් දැනගන්නට තිබේ.
එසේම කතානායකවරයා විසින් කමිටුව සම්බන්ධව තීන්දුවක් ප්‍රකාශ කර ඇති බවත් විශේෂ කාරක සභාව ඒ අනුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දු ගැනීම ප්‍රායෝගික කටයුත්තක් නොවන බව ද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

