ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ගැටළු රැසක් පැවතීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ හා ඔහු වටා ගොනුවී සිටින දේශපාලන පක්ෂ තීරණයක් ගත නොහැකිව අසීරු තත්ත්වයක සිටින බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩුව හා ගෝඨාභය රාජපක්ෂට සුළුතර ජනවර්ග වල සහය ලබාගැනීම අපහසුවීම යන හේතු මෙම ගැටලුවට හේතුවී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි බාරදී තිබුණද ඔහුට එරෙහිව ඇමරිකානු අධිකරණවල නඩු පැවතීම නිසා පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළව ඇමරිකාවේ ප්‍රතිචාරය ප්‍රමාද වී තිබේ. මීළඟ ජනාධිපතිවරණයට පෙර එම කටයුතු අවසාන කර ගැනීමට හැකිවනු ඇත්දැයි මේ වන විට එම කණ්ඩායමේ සැකයක් මතුවී තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව ජුනි 19 වැනිදා විභාගයට ගැනීමට තීන්දු කර ඇති අතර එම මහාධිකරණය එක දිගට නඩුව විභාගකර ඉක්මනින් තීන්දුව ලබාදිය යුතුය.
මේ හේතුව නිසා චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන අනෙක් සහෝදරවරුන්ගේ නම් මීළඟ ජනාධිපතිවරණ සටන සඳහා නැවතත් යෝජනාවී තිබේ.
මෙම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා වැනි අය ජනාධිපතිවරණයට වඩාත් සුදුසු පුද්ගලයා ලෙස චමල් රාජපක්ෂගේ නම මීට පෙර යෝජනා කර තිබුණි. මේ වෙද්දී ඔවුන් නැවතත් චමල් රාජපක්ෂගේ නම ඉදිරියට ගෙනවිත් තිබෙන බව වාර්තා වෙයි. මුස්ලීම් ජනතාවට එරෙහි මතවාදයක් සිංහල හා දෙමල සමාජ දෙකෙහිම නැගී ඒම හා වත්මන් ආණ්ඩුව දේශපාලන විසඳුමක් ගැන දෙමල ජනතාවගේ බලාපොරොත්තු කඩකර ඇති පසුබිමක ඩග්ලස් දේවානන්දා, වර්ධරාජා පෙරුමාල් ඇතුළු පොදුජන පෙරමුණට හිතවත් උතුරේ දේශපාලන නායකයන් කිහිපදෙනෙකුද ප්‍රකාශකර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර එම කණ්ඩායමේ සාමාජික මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කලේ බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට තමන් තෝරාගතහොත් ඉදිරිපත්වන බව හිතවතුන් පිරිසක් සමඟ කියා ඇති බවය. ගෝඨාභය රාජපක්ෂට මෙන් නඩු ආදී ගැටළු නැති නිසා තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සති තුනක් ඇතුළත කරගත හැකි බව බැසිල් රාජපක්ෂ එහිදී පවසා තිබේ.
ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුනත් ස්ථිර ජනාධිපති අපේක්ෂකයකු නොමැතිවීම ප්‍රශ්නයක් බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකුම මහින්ද රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කර ඇති බවත් ඒ ගැන ළඟදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ එම නායකයන්ට කියා ඇති බවත්, මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කීය. මඟුල් ගෙදරක් සූදානම් කිරීමෙන් පසුව මනමාලිය ගැන කල්පනා කල නොහැකිවාක් මෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමද කල නොහැක්කක් බවද මහින්ද රාජපක්ෂ හමුවේ තමන් කී බවද එම මන්ත්‍රීවරයා කීය.
(අනිද්දා )

