ජනාධිපතිවරණයට පෙර ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව විසුරවා හැරීමක් සිදුවුවහොත් ඒ ජනාධිපති සිරිසේන යළිත් වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන තිබෙන බරපතළ දේශපාලන අර්බුදය උග්‍රවීමත් සමඟ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය තුළ හදිසි මහ මැතිවරණයකට යාහැකිදැයි සිය නෛතික මතය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම්දී තිබෙන බවට පළවන පුවත සම්බන්ධව විමසීමේදී ඔවුන් මේ බව අවධාරණය කරනු ලැබිණ.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි මෙන්ම පුවත්පත් කිහිපයක් ද හදිසි ජනමතවිමසුමක් පවත්වා මහ මැතිවරණයකට යාමේ සූදානම පිළිබඳ වාර්තා කර තිබිණ.
"මෙයට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරමින් නීතිපතිගෙන් විමසා තිබුණේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත් හදිසි ජනමත විමසුමක් තබා එයින් ජනතා අනුමැතිය ලබාගෙන මහ මැතිවරණයකට යාමට නෛතික බාධාවක් තිබේද කියායි." යනුවෙන් දේශය පුවත්පත මෙය වාර්තා කර තිබූ අතර "ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ගැන මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ අධ්‍යයනයක් කරමින් සිටින අතර ලබන සතිය වනවිට නීතිපතිවරයා සිය මතය ජනාධිපතිට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ." යනුවෙන්ද එහි වාර්තා කර තිබිණ.
ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත් ? : මාරාන්තික විහිළුවක් !
මෙහිදී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, අදාළ පුවත නිර්මාණය කළ පිරිස් පවා නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිට ඇති නොහැකියාව පිළිගෙන ඇති බවත් අදාළ ප්‍රවෘත්තියේ "ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත්" යනුවෙන් දක්වා ඇත්තේ ඒ නිසා බවත්ය.
මෙහිදී ඔවුන් වැඩිදුරටත් දක්වන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් කර ඇති බවය.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත් යනුවෙන් උපකල්පන යොදාගෙන ව්‍යවස්ථාවේ නොමැති ප්‍රතිපාදන සෙවීම ප්‍රජාතන්ත්‍රවාදය සමඟ කෙරෙන මාරාන්තික විහිළුවක් බවය.
එසේම එය අමුතුවෙන් පැහැදිළි කිරීමට දෙයක් නොවන බවත් හිතේ ඇති ආශාවට, තරහට හෝ කේන්තියට අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනාධිපතිට පමණක් නොව කිසිවෙකුටවත් නොහැකි බවත් ඔවුන් සඳහන් කරයි.
එසේම මේ වන විට ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපති සිරිසේන ගෙනයන දේශපාලනය කුමක්ද යන්න පැහැදිළි නැති බවත් වහාම ඔහුව පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට කටයුතු නොකළහොත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අවධානමක වැටෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයක් හැර විකල්පයක් නෑ !
තවද පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියක් නොමැතිව එය විසුරවීමට හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බැවින් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගන්නට නම් ජනාධිපතිවරණයක් පැවැත්වීම පැහැදිළි විසඳුමක් වන බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
ජනාධිපතිවරණය වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට අවම වශයෙන් මසකට පෙර පැවැත්විය යුතු යැයිද ව්‍යවස්ථාවේ සඳහන්ය බවත් ඒ අනුව 2019 දෙසැම්බර් 09දාට පෙර ජනපතිවරණය පැවැත්විය යුතු අතර තවත් නාඩගම් නැටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.

