Language Switcher

V2025

මාතර SP - ගාල්ලේ ASPගේ ගෙට හොරෙන් පැනලා : විමර්ෂණයක් ඇරඹේ !

සහකාර පොලිස් අධිකාරී (ගාල්ල iv) යූ.පී. සෙනවිරත්න සතු නිල නිවස මාතර පොලිස් අධිකාරි පී.එච්. මාරපන ඇතුළු පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්කරගෙන ඇති බවට පොලිස්පති වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මාතර පොලිස් අධිකාරිවරයා මෙසේ නිලනිවස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්තේ ඔහුට හිතවත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට එම නිලනිවස ලබාදීම සදහාය.

ඒ සදහා මාතර පොලිස් අධිකාරි පී.එච්. මාරපන ඇතුළු පිරිසක් මැදිහත්ව ඇත්තේ නිල නිවසේ ඒ වන විටත් රැදිසිටි සහකාර පොලිස් අධිකාරී (ගාල්ල iv) යූ.පී. සෙනවිරත්න රාජකාරි කටයුත්තක් සදහා මීගමුව ප්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවක බවත් නිල නිවසට අදාල පිරිස ඇතුල්ව ඇත්තේ නිවසේ දොරගුළු බිඳදමා බවත් පොලිස්පති වෙත යොමුකර ඇති පැමිණිල්ලේ සදහන් වන බවත් වාර්තා වෙයි.

ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව සහකාර පොලිස් අධිකාරී යූ.පී. සෙනවිරත්න හිනිදුම ප්‍රදේශය භාරව සිට ස්ථාන මාරුවක් ලබා ගාල්ල iv ලෙස රාජකාරි සිදුකරමින් සිට ඇත. එහිදී ගාල්ල පොලිස් අධිකාරීවරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛිත අවසරය මත E/FO / U 12 A දරණ නිල නිවසේ පදිංචිව සිට ඇති අතර ඒ 2019 වසරේ පෙබරවාරි මාසයේ සිටය.

අනතුරුව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සහ ඉහළ නිලධාරීන්ගේ නියෝගය මත 2019.06.08 වනදා මීගමුව ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබේ. නිල නිවසේ දොරගුළු බිඳ ඊට කිසියම් අයෙකු ඇතුළුව ඇති බව ඔහු දැනගෙන ඇත්තේ 2019.06.11 වනදා මීගමුවේ රාජකාරි කරන අතර තුරය.

ඒ සම්බන්ධව ඔහු ගාල්ල පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර අනතුරුව නැවත පැමිණ පැමිණිල්ලට අදාළ විමර්ශන සම්බන්ධව සොයාබලා තිබේ. මාතර පොලිස් අධිකාරි පී.එච්. මාරපන ඇතුළු පිරිසක් සිය නිල නිවසට පැමිණ දොරගුළු බිඳදමා ඇති බව දැනගෙන ඇත්තේ එහිදීය.

ඒ සිදුවීමේදී තමන්ගේ රුපියල් 8000කට ආසන්න මුදලක් මෙන්ම පෞද්ගලික භාණ්ඩ කිහිපයක්ද අතුරුදහන්ව ඇති බව ගාල්ල අපරාධ අංශයේ ස්ථානාධිපතිට පැමිණිලි කරන්නටද සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධව අපරාධ අංශයේ ස්ථානාධිපති නිරීක්ෂණ සටහන් තබාගත් බවත් පොලිස්පතිවරයාට යොමුකර ඇති පැමිණිල්ලේ සඳහන්කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම මාතර පොලිස් අධිකාරි පී.එච්. මාරපන ඇතුළු පිරිස සිය නානකාමරය පවා යතුරු ලා ගොස් ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් බවත් දැනගන්නට ඇත. තවද අදාළ ක්‍රියාව හේතුවෙන් තමන්ට නිල ඇඳුමේ කොටස් කිහිපයක්, අත්‍යාවශ්‍ය ඖෂධ ආදී කිහිපයක් ලබාගැනීමට නොහැකිව දුෂ්කරතාවකට පත්ව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ගාල්ල පොලිස් අධිකාරීවරයා තමන්ට සිදුවූ මේ අවනඩුව සම්බන්ධව පොලිස්පතිවරයාට මෙන්ම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දකුණ ), නියෝජ්‍ය පොලිස්පති (ගාල්ල දිසාව), පොලිස් අධිකාරී (ගාල්ල ) වෙතද පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධව ඇල්පිටිය දිසාව භාර පොලිස් අධිකාරී යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.