පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ දොර වැසෙයි : ජනාධිපති බේරන තැතක් !

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ දොර වැසෙයි : ජනාධිපති බේරන තැතක් !

මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙලි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරිමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට විශේෂ කාරක සභාව තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේය.

කාරක සභාවේ නියෝජිතයින් ඊයේ (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.

ජාතික ආරක්ෂාවට අදාල සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින්ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව අදාල සාක්ෂි සටහන් කර ගැනීමට තීරණය කළ බව ආනන්ද කුමාරසිරි සඳහන් කළේය.

මීට අමතරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ලබන ජුලි මස අවසන්වීමට පෙර අවසන් කිරිම සම්බන්ධයෙන් ද ඊයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් ද සකස් කර ඇති බව සඳහන්ය.

මාධ්‍යට දොර වසන්නේ ඇයි?

ඊට හේතුව ලෙස අප වෙත වාර්තා වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි ලබාදීම සම්බන්ධව මතුව ඇති අර්බුධයයි.

වාර්තා වන ආකාරයට මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීම තීරණාත්මක වී ඇත්තේ, පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව ලැබී තිබුණු බුද්ධි තොරතුරු නිසි ලෙස ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යවරයා ද වන රටේ ජාතික ආරක්ෂාව සියළු වගකීම් ඇති ජනාධිපතිට දැන්වුයේද නැද්ද යන්න තහවුරු කර ගැනීමටය.

මේ කාරණය පිළිබඳ අනාවරණය කර ගැනීම තීරණාත්මක සාක්ෂියක් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිවක් ගැන තමන්ට දැනුම්දී නොතිබුණු බව ජනාධිපති සිරිසේන මේ වන විටත් රට හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති නිසාය. ඒ සත්‍යක් වන බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යන රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේ දී පිළිගත හොත් පාස්කු ප්‍රහාරය හමුවේ විනාශවී ගිය මිනිස් ජීවිත මෙන්ම දේපළ සම්බන්ධව දැඩි වගකීමක් ඔහුට පැවරේ.

නමුත් තමන් නිසි ලෙස අදාළ බුද්ධි වාර්තා ජනාධිපතිට දැන්වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේදී අනාවරණය කළහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වන තෙක් ජනාධිපති සිරිසේන කළ කී දේ සියල්ල පාහේ බොරු වෙනවා පමණක් නොව චෝදනා රැසක් සම්බන්ධව වගකියන්නටද ජනාධිපති සිරිසේනට සිදුවීම වැළක්විය නොහැකිව පවතී.

මෙය වැලැක්වීම උදෙසා සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙලි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරිමටත් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් අද දිනයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිත අතර සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් ද ඒ අතර වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න