රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බවත්, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (19) හෝමාගම දී පැවසීය.
බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ ඊයේ (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා.
බංකොළොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා පොදු පහසුකම් අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර්, හෝමාගම එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක මංජු ශ්‍රී අරංගල ඇතුලූ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

