පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වලක්වා ගැනිම හෝ අවමකර ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 09 දෙනෙකුට එරෙහිව අපරාධ පරික්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබාදී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු විශේෂ කමිටු නිර්දේශ මත මෙම උපදෙස් ලබාදී ඇත.
කොළඹ ප්‍රදේශය භාර, බස්නාහිර උතුර ප්‍රදේශය භාර සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් අදාල පියවර ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.
ඊට අමතරව කටාන සහ ජම්පටා පොලිස් ස්ථාන භාරව කටයුතු කළ පොලිස් නිළධාරින්ට එරෙහිව ද අපරාධ පරික්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
පොලිස්පතිගේ සාක්ෂිය !
කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් පොලිස්පති පූජිත් ජයසුන්දර සඳහන් කර සිටියේ "පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකීම තමන්ට ගත නොහැකි බව ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි. එසේම ඉදිරියේ පත්වන කවර කමිටුවක් හමුවේ වුවත් වරද පැටවෙන්නේ පොලිස්පතිට බවත් ජනාධිපතිවරයා එහිදී පැවසු බව පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය.
ජනාධිපති කියපු විදිහට හදපු වාර්තාවක් !
පොලිස්පතිගේ සාක්ෂිය සහ නීතිපති සිදුකර ඇති දැනුම්දීම අනුව අදාළ වාර්තාව සකස්විය යුතු ආකාරය සම්බන්ධව පූර්ව සූදානමක් පැවතියාද යන සැකයක් මතුවෙයි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුව නියෝජනය කළත් එය සාමාන්‍ය කමිටුවක් බවත් එහි ඇති නෛතික වලංගුභාවය ගැන පවා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සැකසංකා පළකර ඇති බවත් මෙහිදී සිහිපත් කල යුතුව තිබේ.
එසේම මේ කමිටුව ගැන විශ්වාසයක් ඇතිවීමට නම් අවම වශයෙන් එහි නිර්දේශ ප්‍රසිද්ධ කල යුතුව තිබු බවත් ඔවුන් පෙන්වා දෙන අතර ඊට වඩා වලංගු භාවයක් ඇත්තේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට බැවින් නීතිපතිවරයාගේ විශ්වසනීයත්වය සම්බන්ධවද මෙහිදී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවීම වලක්වාලිය නොහැකි බවත් පෙන්වාදිය යුතුව ඇත.
මගහැරිය නොහැකි ප්‍රශ්නයක් !
ජාතික ආරක්ෂාව වැනි සංවේදී සටන් පාඨයක් යොදාගෙන මේ ජනාධිපතිගේ කමිටු නිර්දේශ වල විශ්වසනීයත්වය ප්‍රශ්න කිරීම යටපත් කල හැකිය. නමුත් එහිදී පෙරලා නැගෙන ප්‍රශ්නයක් තිබේ. ඒ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයට අදාළ පෙර ලැබුණු බුද්ධි වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළාද ? නැද්ද ? යන අතිමුලික ප්‍රශ්නයයි.
සිරිසේන ජනාධිපතිගේ ප්‍රකාශය !
මෙහිදී වඩාත් විශ්වසනීය ලෙස කරුණු ඉදිරිපත් කල යුතු බැවින් අප 2019 මැයි 06 වනදා බීබීසී සිංහල මාධ්‍ය අංශය ජනාධිපති සිරිසේන සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවක උපුටනයක් යොදාගමු.
"පාස්කු ඉරිදා ප්‍රහාර ගැන රාජ්‍ය ඔත්තු සේවා දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම "බරපතල පැහැර හැරීමක්" නොවේදැයි බීබීසී මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, "ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව කටයුතු නොකිරීමට" එරෙහිව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
"අවම වශයෙන් ඔවුන් මාව දැනුවත් කළේ වත් නෑ, මෙවැනි තොරතුරක් ලැබිල තියෙන බව," ජනාධිපතිවරයා පැවසීය."
තමන් දැනුවත් නොකිරීම සහ අදාළ තොරතුරු සම්බන්ධයෙන් "වගකීම පැහැර හැරීම" පිළිබඳව එම නිලධාරීන්ට එරෙහිව දැනටමත් පියවර ගෙන තිබෙන අතර පරීක්ෂණ කමිටුවක් ද පත්කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය. "
එම උපුටා දැක්වීම අනුව ජනාධිපති සිරිසේන මූලිකව මතුකරන්නේ " ජාතික ආරක්ෂාව සම්බන්ධ බලධාරියා වන තමන්ට නිලධාරීන් නිසි දැනුවත් කිරීමක් සිදුනොකළ බවය. ඒ අනුව ඔවුන්ට වගකීම පහර හැරීමට අදාළව ක්‍රියාමාර්ග ගැනීම තමන් පත්කළ කමිටුවේ සැබෑ අපේක්ෂාව බවය.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරිගේ සාක්ෂිය !
එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේ බුද්ධි වාර්තා සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සිදුකරන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් බවය.
ඒ අනුව ජනාධිපති සිරිසේනට මේ බුද්ධි තොරතුරු දැනුම් දුන්නාද නැද්ද යන්න තීරණාත්මක වන්නේ අපේ උවමනාවට නොව ජනාධිපති සිරිසේන විසින්ම පත්කළ කමිටුවේ අපේක්ෂාව අනුවය. ජනාධිපති සිරිසේන බීබීසී මාධ්‍යවේදියා හමුවේ අනාවරණය කර ඇත්තේද ඒ ගැනය.
එහෙත් අද (20) නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩබලන පොලිස්පති වෙත යොමුකළ නිර්දේශ වල නිලන්ත ගැන සඳහන් වන්නේ නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

