ඉහළ පෙළේ ජපන් නියෝජිතයන් - අගමැති රනිල් හමුවෙයි : මහනුවර ගැන තීන්දුවක් !

ඉහළ පෙළේ ජපන් නියෝජිතයන් - අගමැති රනිල් හමුවෙයි : මහනුවර ගැන තීන්දුවක් !

ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto IZUMI) අතර අද (21) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමුවූ බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඒ පිළිබඳ නිවේදනයක් නිකුත්කර ඇති අතර ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම සඳහා ජපානය සැමවිටම සූදානමින් සිටින බව අවධාරණය කළ ඉසුමි මහතා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට කටයුතු කරන බව ද පැවසූ බවත් එහි සඳහන් වෙයි.

 මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය, එල්එන්ජී විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලසුමක් සැකසීමේ වැදගත්කම සම්බන්ධව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය. එසේම ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සඳහා කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා දරන ප්‍රයත්නය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. ඒ ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබා දෙන බව ඉසුමි මහතා ප්‍රකාශ කළේය.

කලාපීය සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයන්හි නිදහස් නාවුක ගමනාගමනය හා සාමය තහවුරු කරලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන පිළිබද ආර්ථික සහයෝගීතා තානාපති ෂිංජරු කියමා (Mr. Shigeru KIYAMA) , ජපන් අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් හා විශේෂ උපදේශක තකාෂි ෂිබාටා (Mr.Takashi SHIBATA) , මුදල් අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ යුචි ඔබා (Mr. Yuichi OBA) , වරාය සහ වරාය කාර්යාංශයේ කර්මාන්ත හා වරාය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්‍ෂ සටරෝ ඔසුමි (Mr. Satoru UOZUMI) , ජාත්‍යන්තර ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ජල කර්මාන්ත ප්‍රවර්ධන අධ්‍යක්ෂ තකාෂි යොෂියෝකා (Mr. Takashi YOSHIOKA) , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ සැලසුම් II ජිනිචි කාඩොවොකි (Mr.jinichi KADOWAKI) , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (H.E Mr Akira SUGIYAMA) , පළමු ලේකම් චිහාරු හොෂියායි (Ms.Chiharu HOSHIAI) , ශ්‍රී ලංකාවේ ජයිකා (JICA) ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ තනාකා (Mr. Fusato TANAKA) ඇතුළු නිලධාරීහු ජපාන පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න