Language Switcher

V2025

ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණයේ "B ප්ලෑන්" ක්‍රියාත්මකයි - ජනාධිපතිගේ ප්‍රතිරූපයට දැඩි හානි

ප්ලෑන් B ක්‍රියාත්මකයි

යහපාලන සම්මුති ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණය නව අදියරක් ඔස්සේ දීයත්වී ඇති බවත් ඒ හමුවේ ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදුවෙමින් තිබෙන බවත් බුද්ධි අංශ අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ බව සඳහන් කරමින් බුද්ධි වාර්තා සඳහන් කර සිටින්නේ ප්‍රශ්නගත බැඳුම්කර සිදුවීම සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ විකෘති කරමින් සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ තම කුමන්ත්‍රණයට වාසි සහගත ලෙස යොදා ගනිමින් ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණයේ දෙවන කොටස ක්‍රියාවට නගන්නට එම පාර්ශව කටයුතු අරඹා ඇති බවය.

 ලැබී ඇති තොරතුරු වලට අනුව සම්මුති ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණයේ දෙවන අදියර ක්‍රියාවට නැගී ඇත්තේ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර සෘජු ගැටුමක් නිර්මාණය කිරීම අරමුණු කරගෙනය. එහිදී අතරමැද සමාදානයක් නොමැති තැනට දෙපාර්ශවයම කැඳවීම කුමන්ත්‍රණකාර පාර්ශවයේ ඉලක්කය වී ඇති බව අනාවරණයවී ඇති බවද බුද්ධි වාර්තා සඳහන් කරයි.

රවී අත්අඩංගුවට ගැනීමට සුදානමක් !

මීට ආසන්නතම සිදුවීම ලෙස බුද්ධි අංශ අනාවරණය කර සිටින්නේ බැඳුම්කර කොමිසම විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක වරදකරුවකු කර ඇති බවත් ඒ මත පදනම්ව ළඟදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ප්‍රචාරයක් ආරම්භ කිරීමය.

මෙම පුවත සම්බන්ධව සිදුකළ බුද්ධි විමර්ශනයේදී හෙළිවී ඇත්තේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිඳු තැනක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට කිසිඳු සඳහනක් නොමැති බවය.

ආණ්ඩුව දන්නෙත් නෑ - නීතිපති දන්නෙත් නෑ

එසේම අදාළ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව කිසිඳු තීන්දුවක් ආණ්ඩුව පාර්ශවයෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ගෙන නොමැතිබවද අනාවරණය වී ඇත. ඒ අනුව මෙම පුවත මේ වන විටත් ආණ්ඩුව අභ්‍යන්තරයේ නිර්මාණයවී ඇති ආතතිගත තත්ත්වය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සිදුකර ඇති පුවත් නිර්මාණයක් බව බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

ඊට නිදර්ශන දක්වමින් බුද්ධි තොරතුරු මුලාශ්‍ර ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණකාර පාර්ශවයන්ගේ හැසිරීම මෙසේ අනාවරණය කර සිටියි.

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ විකෘති කිරීම දිගටම

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ කිසිඳු තැනක රවී කරුණානායක මන්ත්‍රීවරයා වරදකරුවකු බව සඳහන් කර නැත. එහෙත් එවැනි අදහසක් සමාජගතවීම මේ මොහොතේ ආණ්ඩුව දෙකඩ කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින පාර්ශව වෙත අවාසි සහගතය. එම අවාසිය මඟ හැරීම වෙනුවෙන් කුමන්ත්‍රණකාර පාර්ශව අදාළ වාර්තාවේ නිර්දේශ විකෘති කරමින් සමාජගත කිරීම අරඹා තිබේ.

ඒ අනුව ඔවුන් ගොඩනගා ඇති කතාව වන්නේ, බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත හිටපු අමාත්‍යවරයාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවය. එසේම එය අවමය මාස 03 ක් වත් ඉක්මවන තුරු ඇප ලබා නොදිය හැකි තරමේ වරදවල් ගණයට වැටෙන බව ප්‍රචාරය කිරීමය.

ලොවෙත් නැති කොමිසමක් !

මෙතැන ආරම්භයේම තිබෙන විකෘති කිරීම වන්නේ ජනාධිපති බැඳුම්කර කොමිසම "පූර්ණ බලැති" බවට පත්කළ "නිර්ණායකය" කුමක්ද යන්නය. සාමාන්‍යයෙන් ජනාධිපති කොමිසන් වර්ග දෙකක් සම්බන්ධව අප දැනුවත්ය. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් සහ සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් වශයෙන්ය.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකින් විමසන ලද සාක්ෂි මත පදනම්ව නිගමනය කර ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි අවස්ථා අප රටේ ඉතිහාසයේ පවතී. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සහ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි දේශපාලන චරිත වල ප්‍රජා අයිතිය අහෝසි කෙරුණේ එවැනි නිර්දේශ පදනම් කරගෙනය. එහෙත් ඒද සිදුවුයේ පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් සිදුකර සහ ඒ වෙනුවෙන් ගෙනෙන යෝජනාවට තුනෙන් දෙකක ජන්දයක් ලබාගැනීමෙන් ය.

නමුත් සාමාන්‍ය ජනාධිපති කොමිසමකට එවැනි බලයක් නොමැති අතර ඊට කළ හැකි වන්නේ තමන් සාක්ෂි විමසීමෙන් සහ සිදුකළ විමර්ශන කටයුතු වලින් සකස් කළ වාර්තාවක් නිර්දේශ සහිතව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම පමණය. ඒ නිර්දේශ මත නඩු පැවරිය යුතුද ? ඒ කාටද? යන්න තීරණය ගනු ලබන්නේ නීතිපතිවරයා විසින් වන අතර ඊට අදාළ නෛතික ක්‍රියාවලියක් පවතී.

කෙසේ වුවත් අවම වශයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම පත්කළ බව නිවේදනය කරමින් 2017 ජනවාරි 27 නිකුත් කර ඇති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන් වන්නේ නැත. ( එම ගැසට් පත්‍රය මෙම ලිපිය අවසානයේ දක්වා ඇත.)

කොමිසමේ නිර්දේශ අනුව රවී වැරදිද ?

ඒ පසුබිමේ බැඳුම්කර කොමිසමේ නිර්දේශ හරහා රවී කරුණානායක වැරදිකරුවකු බවට නම් කර ඇති බවත් කොමිසමට බොරු සාක්ෂි දීම හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුවන බව පැවසීම බැඳුම්කර ජනාධිපති කොමිසමට සිදුකළ අපහාසයකට වඩා වැඩි දෙයක් නොවන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද අදහස වී තිබේ. මේ ඇත්තේ ඊට අදාළව ඇති සාක්ෂිය.

001

එහි නිවැරදි සිංහල පරිවර්තනය මෙසේය.

24] 24 වැනි පරිච්ඡේදය තුළ පූ්ර්වයෙහි පෙන්වා ඇති පිදි අප කොමිසම නිර්දේශ කරනවා. ගරු රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී වෝල්ට් හ රෝව් ඇසෝශියේට්ස් ( එය පර්පෙටුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයත් සහකාර සමාගමකි. එහි අයිතිය හ පාලනයද පර්පෙටුවල් ට්‍රෙෂරීස්හි පුද්ගලයින් විසින්ම කරන ලදී.) මගින් ගරු රවී කරුණානායක සහ ඔහුගේ පවලේ අය රැදී සිටි නිවසේ කල්බද්ද පිළිබදව කරන ලද බදු ගෙවීම් මගින් ඔහු සැලකිය යුතු වාසියක් සදහා අත්පත් ගත්තේ ද යන්න සොයා බැලීම හා එසේ ලබා ඇත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවී කරුණානායකට එරෙහිව අල්ලස් පනත යටතේ සුදුසු ක්‍රියා මාර්ග ගත යුතද යන්න අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු බව

25] 24 වන පරිච්ඡේදයේ පූර්වයෙහි සදහන් කර ඇති පරිදි, අප ඉදිරිපිටදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ලබා දුන් සමහර සාක්ෂි අසත්‍යයද යන්න සලකා බැලිය යුතු බව හා එය එසේ වන්නේ නම් ගරු නීතිපතිතුමා සහ අනෙකුත් සුදුසු බලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වැනි වගන්තිය සහ හෝ 188 වැනි වගන්තිය යටතේ හෝ නීතියේ සෙසු අදාළ විධිවිධාන සමග අංක 17, 1948 කොමිෂන් සභා විමර්ශන පනතෙහි 09 වන කොටසට අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බව අප තවදුරටත් නිර්දේශ කරනවා.

 කුමන්ත්‍රණයේ නොනවතින ප්‍රහාරය

මීට අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක වරදකරුවකු වන බවට සඳහන්කර තිබේද? නැත. ඒ අනුව කුමන්ත්‍රණකරුවන් සිදුකරමින් සිටින්නේ බැඳුම්කර කොමිසමේ නිර්දේශ හේතුවෙන් ගැලවී ගිය වස්ත්‍ර යළි ඇඳ ගැනීමේ තක්කඩි රංගනයකට වඩා වැඩි දෙයක් නොවේය.

පැහැදිළිව කොමිසම හමුවේ සාවධ්‍ය තොරතුරු දක්වා ඇත්නම් ඊට අදාළව අත්අඩංගුවට ගැනීමක් හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකි වන්නේ ඉදිරියේදී වෙනම සිදුකරනු ලබන අධිකරණ කටයුත්තක් හරහා පමණය. ඒ හැර මෙම නිර්දේශය පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් නොමැත. කොමිසන් වාර්තාවේ රවී කරුණානායක සාවධ්‍ය සාක්ෂි සපයා ඇති බවක් සඳහන් වන්නේද නැත.

ජනාධිපති ලේකම්ගේ ලිපිය

එපමණක් නොව ජනාධිපති කොමිසම පිළිබඳව දැනුම්දෙමින් එවකට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යවා ඇති මේ ලිපිය බලන්න. ඊට අනුව මෙම කොමිසමේ විමර්ශනය සඳහා සාක්ෂි විමසීමේ කාර්යභාරය සිදුවන්නේ "කොමිෂන් සභා පරීක්ෂණ පනතේ" "section 14" පදනම් කරගෙනය.

002

section 14 මොකක්ද ?

 section 14 ට අනුව නම් කොමිසමේ මෙම සාක්ෂි අදාළ විමර්ශනය සඳහා මිස වෙනත් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් සඳහා පාදක කරගත නොහැකිය. එසේම එම විමර්ශනයේ සාක්ෂි වෙනත් අධිකරණ කටයුත්තකට යොමුකිරීමටද අවස්ථාවක් නැත.

 නමුත් මෙම කොමිසම ක්‍රියාත්මක කිරීම අධිකරණ කටයුත්තක් සිදුකිරීමට සමාන බැවින් ඒ හමුවේ සාවධ්‍ය ප්‍රකාශ සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්ය. ඒ බව කොමිසම හමුවේ තහවුරු වනවා නම් එම අදාළ පාර්ශවයට එරෙහිව අභියාචනාධිකරණය වෙත පැමිණවීමේ බලය මෙම කොමිසම සතුව තිබිණ.

003

004

එහෙත් කොමිසම එවැන්නක් ස්ථිර ලෙස සඳහන් කර නොමැත. ඒ වෙනුවට කොමිසමේ නිර්දේශ තුළ සඳහන් වන්නේ,

25] 24 වන පරිච්ඡේදයේ පූර්වයෙහි සදහන් කර ඇති පරිදි, අප ඉදිරිපිටදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ලබා දුන් සමහර සාක්ෂි අසත්‍යයද යන්න සලකා බැලිය යුතු බව හා එය එසේ වන්නේ නම් ගරු නීතිපතිතුමා සහ අනෙකුත් සුදුසු බලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වැනි වගන්තිය සහ හෝ 188 වැනි වගන්තිය යටතේ හෝ නීතියේ සෙසු අදාළ විධිවිධාන සමග අංක 17, 1948 කොමිෂන් සභා විමර්ශන පනතෙහි 09 වන කොටසට අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බව අප තවදුරටත් නිර්දේශ කරනවා.
යනුවෙන්ය.

 ඒ අනුව කුමන්ත්‍රණකරුවන් මේ සුදානම් වන්නේ පළමු අවස්ථාවේ ලෙසම රවීගෙන් වැඩ අල්ලා පෙළින් පෙළට ආණ්ඩුව අර්බුදයට යැවීම බව පැහැදිළිය. ඒ බව තවදුරටත් සනාථ වන්නේ රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සුදානම පිළිබඳ විකෘති පුවත පළකර පැය 24ක් ගතවීමට පෙර "බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව රනිල් වික්‍රමසිංහ වරදකරුවකු බව තහවුරු වන බව සඳහන් පුවතක් පල කිරීමය.

සිවිල් නඩු එක්ස්පර්ට්ලා අපරාධ නඩුවල ප්‍රැක්ටිකල් ෆේල් ?

එහි දක්වා ඇති නෛතික පසුබිම සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සිවිල් නීතිය ගැන හසළ දැනුමක් සහ පරිචයක් ඇතිව ඒ දෘෂ්ටියෙන් අපරාධ නීතිය සහ නඩු කටයුතු විග්‍රහ කරගන්න ගිය විට එවැනි ප්‍රායෝගික අඩුපාඩු නීති වෘත්තිකයන් අතින් සිදුවන බවය. එසේම එම ප්‍රායෝගික දුර්වලතාව නිසාම අපරාධ නඩුවක් වෙනුවෙන් සකස් කළයුතු නෛතික පසුබිමක් සඳහා සිවිල් නඩුවක හැඩයක් ලැබී ඇති බවත් එහෙත් මේ තත්ත්වය අධිකරණ විනිසුරුවරුන්ට හොඳින් පුරුදු බැවින් නීතිය ක්‍රියාත්මකවීම සහ යුක්තිය ඉටුවීම සම්බන්ධව වැරදි අදහසක් තබාගත යුතු නැති බවද ඔවුන් සඳහන් කරයි.

ඒ බව පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කර සිටින්නේ මේ වන විටත් තමන්ද අදාළ කොමිෂන් වාර්තාව විමර්ශනය කරමින් සිටින බවත් පැහැදිළි අවබෝධයකින් තොරව හතු පිපෙන්නාසේ මේ ගැන අදහස් පළකිරීම සුදුසු නොවන බවත්ය.

බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයේ

කෙසේ වුවත් කොමිෂන් සභා වාර්තාව මේ වන විටත් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බැවින් එය යොදාගෙන මේ කුමන්ත්‍රණයේ ඇත්ත නැත්ත මෙන්ම වාර්තාව හමුවේ මෙතෙක් කුමන්ත්‍රණකාර පාර්ශවය විසින් සමාජගත කළ බොරුවේ තරම හෙළිකර ගැනීම දුෂ්කර නැත.

එහෙත් බුද්ධි අංශ මෙහිදී අනාවරණය කර දක්වන්නේ සම්මුති ආණ්ඩුව බිඳ දැමීම වෙනුවෙන් කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව පදනම් කරගෙන සිදුකරන විකෘති ප්‍රකාශන සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රකාශද ඇතුළත් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට බරපතලම හානිය සිදුවන බවය.

ජනාධිපතිගේ ජනප්‍රියතාව වාෂ්ප වෙන්න අරගෙන

වාර්තා වන ආකාරයට එය මේ වන විට බරපතල තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවටද බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත. බුද්ධි අංශ විසින් සමාජ ජාලා ඇතුළුව පොදුජන සහභාගීත්වය සක්‍රීයව සිදුවන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වනසේ විශේෂ සමීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදීද ජනාධිපතිවරයාට පැවති ජනතා විශ්වාසය දුර්වල වෙමින් තිබෙන බව අනාවරණය වූ බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන්ද ප්‍රමාණය කෙරෙහිද අයහපත් අන්දමින් බලපෑමට ඉඩ ඇති බවත් විශේෂයෙන් 2015 ජනාධිපතිවරයාගේ නායකත්වයට ලැබුණු නව ජන්ද රාශියක් මේ වන විටත් එම පාර්ශවය වෙතින් ගිලිහීයන අවධානමක් මතුව ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

ආර්ථිකය භාරගන්නා කතාවේ ඇත්ත කතාව

මීට ආසන්නතම සිදුවීමක් ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගියදා ජාතික ආර්ථිකය නැංවීමේ කටයුත්ත සඳහා ජාතික ආර්ථික සභාව හරහා කටයුතු කරන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය විකෘති වන ආකාරයට සුක්ෂම ප්‍රචාරයක් කුමන්ත්‍රණකාර පාර්ශව දියත් කිරීමය.

එම පාර්ශවයේ නිවේදනය අනුව නම් කෙනෙකුට සිතෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍යංශ පවරා ගැනීමකට සුදානම් වන බවක්ය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවත් ඒ පසුබිමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ තම කුමන්ත්‍රණකාර සැලැස්මට අවශ්‍ය ආකාරයට සංස්කරණය වීම හමුවේ සමාජය හමුවේ ජනාධිපතිවරයා හාස්‍යට ලක්ව ඇති බවය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය

19 වන සංශෝධනයේ 43 වැනි වගන්තියේ (3) වන පරිච්ඡේදය මෙසේය.

“ජනාධිපතිවරයා විසින් කවර හෝ අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.“

එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 43(2) යටතේ අගමැතිවරයාගේ උපදෙස් නොමැතිව ඇමැතිවරුන් පත් කළ නොහැකි බවත් 46 (3) යටතේ අගමැතිගේ උපදෙස් නොමැතිව ජනාධිපතිට ඇමැතිවරයෙකු ධූරයෙන් ඉවත් කළ නොහැකි බවත් දක්වා ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ විකෘති වූ කළ ඒවා කාට සේවයක් සිදුකළත් අවසානයේ ජනාධිපතිවරයාට අත්වෙන දේ පැහැදිළි කරගැනීම එම නිදර්ශනය හොඳටම ප්‍රමාණවත්ය.

 උපදේශකයන් මොකද කරන්නේ ?

එසේම ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීම සඳහා සිටින පාර්ශව සිය වගකීම නිසිලෙස ඉටුකිරීමට අසමත්වීම හමුවේ මේ තත්ත්වය මතුව ඇති බවත් ඔවුන් විසින් ජනාධිපතිවරයාව ජනප්‍රිය කිරීම වෙනුවෙන් සිදුකළ බොහෝ කටයුතු අවසානයේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයට හානියක් නිසා ලැබුණු වාසියක් නොමැති බවද තහවුරුව තිබේ.

අලුත් ජන්ද අවධානමේ !

විශේෂයෙන්ම මේ තත්ත්වය අලුත් ජන්ද දිනාගැනීමට ඇති අවස්ථාව අහිමිකර ගැනීමක් වන බවත් එය එළඹෙන මැතිවරණයේදී ජනාධිපතිවරයා නායකත්වය දෙන පාර්ශවයට සෘණාත්මක බලපෑමක් කරනු ඇති බවද බුද්ධි අනාවරණ සඳහන් කරයි.

එසේම ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් ලියන කියන මාධ්‍ය කණ්ඩායම් පවා පැරණි රාජපක්ෂ මාදිලිය අනුගමනය කරමින් සිටින බවත් එයද ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානිකර බවත් දැනගන්නට ඇත.

රාජපක්ෂලාට වැරදුණ තැනත් මෙතැන

තම අත්දැකීම් ඇසුරෙන් මේ තත්ත්වය විග්‍රහකරන එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2009 යුධ ජයග්‍රහණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හීන වූ ආකාරයට සමාන තත්ත්වයක් වත්මන් ජනාධිපතිවරයාට අත්වෙමින් තිබෙන බවය.

ජනාධිපති බැඳුම්කර කොමිසම පත්කළ ගැසට් පත්‍රය