සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවට සහාය ලබාදුන් එ.ජා.ප.යෙන් පිටත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එ.ජා.ප. ආසන සංවිධායක තනතුරු ලබාදීමට යෝජනා වී තිබූ අතර එහිදී විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයාට කටාන ආසනයත් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට මහරගම ආසනයත් ලබාදීමට යෝජනාවී තිබිණ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් දෙදෙනාට අමතරව ආසන සංවිධායක ධුර හිමිවන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටියි.
ඒ මනුෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනවිරත්න සහ පියසේන ගමගේ යන මන්ත්‍රීවරුන්ය. මෙහිදී මනුෂ නානායක්කාර සහ පියසේන ගමගේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර ලක්ෂ්මන් සෙනවිරත්න බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
විනය ක්‍රියාමාර්ග ගන්නවා - අමරවීර
මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කිසිවෙකුට ඊට සම්බන්ධයක් නොමැති කිසිඳු පක්ෂයකින් ආසන සංවිධායක ධුර ලබාගන්න ඉඩක් නොදෙන බවය. එසේම එවැන්නක් සිදුවුවහොත් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවය.
ඒ අනුව විජිත් විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ යන සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නන් වෙයි.
පුළුවන් දෙයක් කරන්න කියන්න !
මේ සම්බන්ධව අප කල විමසුමකදී ප්‍රතිචාර දැක්වූ මේ එජාපයට සහය දෙන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජනය කරන ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්ගේ ප්‍රකාශ තමන් එතරම් බැරෑරුම්ව නොගන්නා බවය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පක්ෂයේ විශාල කොටසක් කඩාගෙන ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානයට කලයුතු විශාලතම හානිය සිදුකර ඇතිව සිටියදී ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට කොන්දක් ඔහුට නොතිබූ බවත් ඔහු සිහිපත් කරයි.
අවසානයේ මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ බවට කතානායකට ලියුමක් දෙන්න තරම් දේශපාලන දිලෙන්දෙකු බවට නිදහස් සන්ධාන මහ ලේකම්ට සිදුවූ බවත් එබැවින් මේ මොහොතේ කරන පූස් කෙඳිරිලි තම නායකයන් තඹයකට මායිම් නොකරන බවද ඔහු අවධාරණය කළේය.

