පොහොට්ටු සමුළුව අගෝස්තු 11 වනදා : දැනටමත් චමල් විරෝධයක් !

පොහොට්ටු සමුළුව අගෝස්තු 11 වනදා : දැනටමත් චමල් විරෝධයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමට නියමිත අතර එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීම හා එය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාර දීමට පසුගිය බ්‍රහස්පතින්දා (20දා) පැවති මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතිකව තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර විපක්ෂයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා වී තිබේ.

කෙසේ වුවත් ජුනි 23 වනදා නිකුත් වන අනිද්දා පුවත්පතේ අනාවරණය කර ඇත්තේ පොහොට්ටු පාර්ශවයේ චමල් රාජපක්ෂ විරෝධයක් ඇතිව තිබෙන බවය. එම පුවත පහත දැක්වෙයි.

පොහොට්ටුවේ චමල් විරෝධයක් !

මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂගේ නම නැවතත් ඉදිරියට ගෙන ඒම පිළිබඳව ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ ගෝඨාභය හිතවාදී කණ්ඩායමෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවත්,

ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටුම් මතුවීමේ ඉඩක් ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය.

චමල් රාජපක්ෂගේ නම යෝජනා කරන මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණඩායමේම ඇතැම් මහජන නියෝජිතයන් බැනවැදී ඇති බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකරන වෙබ් අඩවිවලින් හා ෆේස් බුක් පිටුවලින් මේ වන විට චමල් හිතවාදී මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි අදහස් පළකර ඇති බවත් එම මන්ත්‍රීවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට හැකිවේදැයි සැකයක් තිබෙන පසුබිමක නැවතත් චමල් රාජපක්ෂගේ නම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙකු යෝජනා කර තිබුණි. ඒ අතර දෙමළ ජාතික පක්ෂවල සාමාජිකයන්ද සිට ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ තමා චමල් රාජපක්ෂ අපේක්ෂත්වයට යෝජනා කරන්නේ තම කණ්ඩායමේ බෙදීම් ඇති කිරීමේ අරමුණෙන් නොවන බවය. අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ නම යෝජනා වුවහොත්, වඩා සුදුසු අපේක්ෂකයෙකු ඉදිරියට පැමිනෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීය.

කෙසේ වෙතත් ඒ ගැන වැරදි වැටහීමක් ඇති කර ගත් පිරිසක් යම් යම් අදහස් දක්වා ඇතැයි තමන්ටද දැනගන්නට ලැබුණු බවද ඔහු පැවසීය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න