Language Switcher

V2025

යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගිය කෙනා මොනවද ජාතික ආරක්ෂාව ගැන දන්නේ - වෙල්ගම

ගම්මන්පිල මන්ත්‍රීවරයා රටේ ආරක්ෂාව පදනම් කරගෙන ජනාධිපතිවීම සදහා නමක් යෝජනා කළත් ඒ කියන පුද්ගලයා යුද්ධයට බයේ රටත් අත්හැර ඇමරිකාවට පළාගිය අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එබැවින් ගම්මන්පිල මන්ත්‍රීවරයා යෝජනා කරන දේ තමන් නිවැරැදි කරන බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධව මේ වන විට රටේ සිටින හොදම පුද්ගලයා සරත් ෆොන්සේකා බවත් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය

තමන් එසේ සදහන් කරන්නේ හමුදා නායකයා ලෙස සරත් ෆොන්සේකා යුද්ධයට නායකත්වය දුන්නා පමණක් නොව ඔහු හමුදාවට බැඳුණු දිනයේ සිට විශ්‍රාම යන තෙක් හමුදාවේ සිටි නිසා බවත් වෙල්ගම මන්ත්‍රීවරයා පවසා සිටියි.

එහෙත් ගම්මන්පිල කියා සිටින පුද්ගලයා යුද්ධයට බයේ ඇමරිකාවට පළාගිය අයෙකු බවත් එවැන්නෙක් මේ රටේ ආරක්ෂාව ගැන යුදහමුදාවට බැඳුණු දිනයේ සිට විශ්‍රාම යන දිනය දක්වා යුද බිමේ සිටි, යුද්ධය ජයග්‍රහණය කිරීමට හමුදාවක් මෙහෙයවූ සරත් ෆොන්සේකා තරම් දැනුවත් යැයි පැවසීය නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

" කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් යුද්ධය ජයග්‍රහණය කිරීමට හමුදාව මෙහෙයවූ සරත් ෆොන්සේකා මැතිවරණය පරාදයි නේද කියලා. ඒක ඇත්ත. ඒත් එහෙම ගන්නවා නම් මම නියෝජනය කරන මතුගම ආසනයේ තමයි C.W.W. කන්නංගර මැතිතුමා , නිදහස් අධ්‍යාපනයේ පියා හිටියේ. එතුමා නිදහස් අධ්‍යාපන අයිතිය දුන්නට මොකද ඊළඟ මහ මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වුණා.

කන්නංගර මැතිතුමා ට වුන දේ තමයි සරත් ෆොන්සේකා ටත් සිදුවුනේ. නමුත් යුද්ධය අතින්, ආරක්ෂාව අතින් බලනවා නම් සරත් ෆොන්සේකා තමයි ලංකාවේ ඉන්න දක්ශතම සේනාපතියා කියලා කියන්න ඕන.

ඒ වගේම දැන් එක්සත් ජාතික පක්ෂය ජූලි 1 වෙනිදා ජනාධිපති අපේක්ෂකත්වය නම් කරනවා කියනවා. අපේ අය අගෝස්තු 11වෙනිදා ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා කියනවා. නමුත් අපේ පැත්තෙ ඉන්න ජේෂ්ඨ දේශපාලනඥයෙක් ලෙස මා එක්ක නම් කවුරුත් අපේක්ෂකයකු ගැන කතා කරලා නෑ. අපෙන් අහලත් නෑ. ගම්මන්පිල නම් කියන්නේ එයාගේ හෘදසාක්ෂිය අපේක්ෂකයා කවුද කියලා දන්නවා කියලා. නමුත් හෘදසාක්ෂියක් නෙවෙයි, කුස්සි කැබිනට් එකක් කියලා කියන්නේ අන්න ඒකෙන් තමයි අපේක්ෂකත්වය නම් වෙන්නේ.