ස්වාධීන හානි පූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණදුන් ජනතාවට වන්දි ලබාදීම පිළිබඳව ඉදිරියටත් කටයුතු සිදුකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එයින් තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් විදේශ ප්‍රතිකාර අවශ්‍ය නම් ඊට අවශ්‍ය සම්පූර්ණ වියදම රජය විසින් දැරීමට සූදානම් බවත් පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සෑම පුද්ගලයෙකුටම ලක්‍ෂ 10 බැගින් හා එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට උපරිමය රුපියල් ලක්‍ෂ 5ක් දක්වා වන්දියක් ලබාදුන් බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් පමණ වෙන්කර දී ඇති බවත් හානි පූර්ණ කාර්යාලයේ නිර්දේශ අනුව තවදුරටත් වන්දි අවශ්‍ය අය වෙත මුල්‍ය සහය ලබා දීමට රජය ක්‍රියා කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සාමය හා සංහිදියාව පිළිබඳ ප්‍රජා නායකයන් දැනුම්වත් කිරීමේ අවසන් අදියරෙහි උත්සවයට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
සර්ව ආගමික මණ්ඩලයක් ඇති කරමින් රටේ ආගමික ගැටළු සාකච්ඡා කිරීමට අප කටයුතු කළ යුතුයි. අපට ඒ වෙනුවෙන් ආගමික නායකතුමන්ලාගේ උපදෙස් ලබා දෙන්නේ නම් සර්ව ආගමික මණ්ඩලයක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට හැකියි.
ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදුන් සියලූ දෙනාටම අපගේ ස්තඣතිය පුද කළ යුතුයි. එහිදී විශේෂයෙන් මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබාදුන්නා. මුස්ලිම් ජනතාව අපි ඉල්ලීම් කිරීමටත් පෙර ඔවුන් අපගෙන් ඉල්ලා සිටියා මද්‍රසා පාසල් න්‍යාමනය කිරීමට අවශ්‍ය නීති සකස් කළ යුතුයි කියා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්‍ෂණ අතරතුර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිදහස් කළ හැකි පුද්ලයන් නිදහස් කිරීමටත් අපරාධ නීතිය උල්ලංඝනය කර තිබෙනවා නම් නීතියට අනුව කටයුතු කිරීමටත් නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන් වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කරනවා.
එම අවස්ථාවට ආගමික නායකයින්, කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ද සහභාගිවී සිටියහ.

