බැදුම්කර නඩුව 19 අහයි : චෝදනා පත්‍ර හමුවේ ගහපු මඩ හෙළිවේ !

බැදුම්කර නඩුව 19 අහයි : චෝදනා පත්‍ර හමුවේ ගහපු මඩ හෙළිවේ !

මහා බැංකු මංකොල්ලය "මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව" බව කියමින් රාජපක්ෂ - සිරිසේන හිතවාදීන් මෙරට ජනතාව දැඩි නොමග යැවීමකට ලක්කළ නින්දිත නාඩගමක් බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වන්නේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුවේ විමර්ශන අවසන් කර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම සඳහා ලබන 19 වෙනිදා චුදිතයන් 10 දෙනෙකු නම් කරමින් නීතිපති දප්පුල ලිවේරා විසින් ඔවුන්ට අධි චෝදනා බාරදීමත් සමඟය.

නඩුව පොදු දේපළ පනත යටතේ !

ඊට අනුව 1982 අංක 12 දරණ පොදු දේපල පණත යටතේ රජයට පාඩු කිරීම යන ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23 ක් යටතේ නඩු පැවරීමට නියමිතව ඇත.

පාඩුව රුපියල් කෝටිවලින් මෙන්න !

මෙහිදී රජයට සිදුවූ පාඩුව ලෙස දක්වා ඇත්තේ රුපියල් 688,762,100 ක් නැතිනම්, හැට අට කෝටි අසූහත් ලක්ෂ හැට දෙදහස් එකසීයකි.

ඒ අනුව මෙතෙක් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව ගැන කියූ " ගණනය කළ නොහැකි" පාඩුවක්, බිලියන 23ක්, 46ක් ආදී ලෙස කියූ කතා සියල්ල පුස්ස බින්ද තැනට පත්ව ඇත.

සමාගමේ මුදල් දැනටමත් කෝටි 120 මහ බැංකුවේ !

මේ සම්බන්ධව නැගුනු ප්‍රශ්න වලදී මහ බැංකුව මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද දිගින් දිගටම සඳහන් කර සිටියේ පර්පෙචුවල් සමාගමේ රු.මිලියන 1200 ක් හෙවත් රුපියල් කෝටි 120 ක මුදලක් මහ බැංකුව විසින් රඳවා ගෙන තිබෙන බැවින් රජයට මේ හරහා පාඩුවක් සිදුවීමට ඉඩ නොතබන බවය. ඒ අනුව දැන් නීතිපති තක්සේරුවට වඩා එනම් පාඩුව මෙන් දෙගුණයකට ආසන්න මුදලක් රජය සතුව පවතී.

චූදිතයන් 10 ය මෙන්න !

එසේම නීතිපතිවරයා අධි චෝදනා ඉදිරිපත් කර ඇත්තේ

  1. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්,
  2. පත්තිනිගේ සමරසිරි,
  3. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්,
  4. අර්ජුන් ජෝසප් ඇලෝෂියස්,
  5. පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන,
  6. ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්,
  7. පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන,
  8. චන්න රංජන් හුළුගල්ල,
  9. මුත්තුරාජා සුරේන්ද්‍රන්,
  10. අජාන් ගාර්දියේ පුංචිහේවා යන යටය.

මෙහි පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැන ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩුව විභාගයට ගන්නා තත්වයක් මේ හමුවේ පෙන්නුම් කෙරෙයි.

සාක්ෂි ලේඛන 236 ක් - සාක්ෂිකරුවන් 116 ක් : දැවැන්ත නඩුවක් !

එසේම අදාළ නඩුවේ සාක්කි වශයෙන් ලේඛන 236 ක් ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් කැඳවීමට යන සාක්ෂිකරුවන් ප්‍රමාණය 116 කි.

රනිල් - රවී නිදහස් !

මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ එදා මේ සිදුවීමට අදාළ චෝදනා ලැබූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය මලික් සමරවික්‍රම වැනි කිසිවෙකු මේ නඩුවේ චූදිතයන් නොවීමය. ඒ කියන්නේ ඒ කිසිවකු මේ ගනුදෙනුවට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවය. ඔවුන් සම්බන්ධව නැගු චෝදනා සියල්ල හුදු අවලාද සහ දේශපාලන මඩ පමණක් වී ඇති බවය.

මේ චෝදනා නිසා වැඩිම අවලාද නැගුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවී කරුණානායක ය. ඒ කොතරම් දුරදිග ගියාදැයි කියනවා නම් අමාත්‍ය රවී කරුණානායක එදා මුදල් අමාත්‍ය ධූරයෙන් පවා ඉල්ලා අස්විය.

යහපාලනය බිඳින්න ගහපු දේශපාලන ගේමක් !

මෙහිදී වූ අවාසනාව වන්නේ මෙකී චෝදනාව සම්බන්ධව සමාජයට තිබු දැනුම අඩු බව නිසා ඒ සම්බන්ධව එල්ල කරන චෝදනා සියල්ල සත්‍ය වැනි හැගීමක් සමාජයට යාමය. විශේෂයෙන් මෙකී චෝදනාව සම්බන්ධව නිවැරදි තතුවිති අනාවරණය කිරීමට එදා රාජ්‍ය මාධ්‍ය සමත්වුයේද නැත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත්වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන ද රටට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එහි තිබෙන සියල්ල අනාවරණය කළොත් මහත් ආන්දෝලනයක් ඇති විය හැකි බවය. එසේම එකී පාර්ශවයෙන්ම පුවත් නිර්මාණය කර සමාජය නොමග යැව්වේ බැඳුම්කර ජනාධිපති කොමිසන් වාර්තාවේ රහස්‍ය ලේඛන ප්‍රමාණයක් ජනතාවට අනාවරණය නොකරන බවය.

සිරිසේන - රාජපක්ෂ හවුල !

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ජන මතයක් නිර්මාණය කරගත්තේ මේ පට්ටපල් බොරු මිනිසුන් සත්‍ය ලෙස භාරගත් නිසාය. ජනාධිපති සිරිසේන මෙන්ම මහින්ද රාජපක්ෂ හිතවාදීන් ගොබෙල්ස් න්‍යාය අනුව යමින් ඒ මැතිවරණය ගොඩදාගන්න වෙහෙසුන අතර අවසානයේ එහි වාසිය හිමිවුයේ රාජපක්ෂ කඳවුර වෙතය.

ගේම ඇදපු සමහරක්ට සිරිසේනගෙන් තනතුරු !

මෙම ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම ගොබෙල්ස් න්‍යාය අනුව සමාජ ගත කිරීම මුළුමනින්ම ඉලක්ක කර තිබුණේ යහපාලන ආණ්ඩුව වෙත සමාජ අපවාදයක් නිර්මාණය කර ඒ සම්බන්ධව පැවති ජනතා විශ්වාසය පළුදු කිරීමය. ඒ බව තහවුරු කරන්නේ ඊට අදාළ පළමු පැමිණිල්ල අල්ලස් කොමිසමට සිදුකරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ය. අනතුරුව එය කරේ තබාගෙන ඇද්දේ මහින්ද පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ ය. සිවිල් සංවිධාන පැත්තෙන් මීට සහභාගීව සිටියේ රජිත් කීර්ති තෙන්නකෝන් වැන්නවුන් ය. ඔහු අද දකුණු පළාත් ආණ්ඩුකාර ය.

නමුත් දැන් නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

19 වනදා ඇරඹෙන නඩුවේ අධි චෝදනා ලියවිලි මේ වන විටත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පළකර ඇති අතර එය පහත දැක්වෙයි.

adi jodana 1

adi jodana 2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න