ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි !

 ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි !

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් අගෝස්තු 10 වැනිදා වන විට සිය ඇමැරිකන් පුරවැසිභාවය ඉවත් කරගත යුතුව තිබේ.

ජූලි 19 වැනිදා විජේරාම මාවගේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ඉහත කී සාකච්ඡාව පවත්වා ඇති අතර දැනට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා යෝජනා වී තිබෙන චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන නම් ගැන එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

එම දෙදෙනාටම අමතරව තවත් නම් යෝජනා වූ නමුත්, එම සාකච්ඡාවට ඉදිරිපත්වූ අනෙකුත් පුද්ගල නාම මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන බවට එම රැස්වීමේදී දැඩි එකඟතාවක් ඇති කරගත් නිසා ප්‍රකාශ කළ නොහැකි බව අප සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ කීප දෙනෙක් පැවසූහ.

අගෝස්තු 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවක් පැවැත්වීමට නියමිතය. අගෝස්තු 10 වැනිදා වන විට තීන්දුව සාමාජික පක්ෂ වෙත ප්‍රකාශයට පත් කළ යුතු බව එකඟ වී ඇත්තේ අගෝස්තු 11 වැනිදා සමුළුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණෙන් බව අප සමග නිර්නාමිකව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ නායකයෙක් කීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු කිරීමට අමතරව පොදුජන පෙරමුණ පිහිටුවීමට බලාපොරොත්තු වන නව සන්ධානයේ ව්‍යවස්ථාව, සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව හා වැඩපිළිවෙළ ද අගෝස්තු 11 වැනිදා එළිදැක්වීමට නියමිත බව ඔහු කීය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායමකට භාර දී ඇති අතර සන්ධානයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කිරීම බැසිල් රාජපක්ෂ ට භාර දී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි සාමූහිකව කතාකොට තීන්දු කිරීම වෙනුවට එය මහින්ද රාජපක්ෂ තනිව තීන්දු කිරීමත්, ඒ තීන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට එක් දිනක් පමණක් තිබියදී අනෙක් පක්ෂවල අනුමැතියට ඉදිරිපත් කිරීමත් පිළිබඳව තමන් එකඟ නොවන බව ඔහු කීය.

ඒ වෙනුවට ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන සියලු පක්ෂ සාකච්ඡා කොට තීන්දුවක් ගැනිමට අවස්ථාවක් තිබේ නම් යහපත් නමුත්, වෙන විකල්පයක් නැති නිසා අපේක්ෂකයා තේරීමට අදාළ ඉහත ක්‍රමවේදයට එකඟ වූ බව නිර්නාමිකව අදහස් දැක්වූ පක්ෂ නායකයා කීය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න