මරලා එල්ලනවාට විරුද්ධව පනතක් ගෙනාවොත් : ජාතික ශෝක දිනයක් කරනවා - සිරිසේන

මරලා එල්ලනවාට විරුද්ධව පනතක් ගෙනාවොත් : ජාතික ශෝක දිනයක් කරනවා - සිරිසේන

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප‍්‍රකාශ කරන බව ජනාධිපති සිරිසේන පවසයි.

ජනාධිපති සිරිසේන මේ බව සදහන් කර සිටියේ අද (14) ඇඹිලිපිටියේ දී පැවති මහවැලි විශේෂ බලප‍්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.

"මරණීය දණ්ඩනය අහෝසි කෙරුවොත් මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් කරන්න බැහැ. මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණයක්. මරණීය දණ්ඩනය අහෝසි කරපු දවසට අපරාධකාරයෝ රට පාලනය කරන්න හදනවා. මේ රටේ දේශපාලනඥයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධව. හැම ආණ්ඩුවකම, හැම විපක්‍ෂයකම පාතාලයෝ හිටියා, අදත් ඉන්නවා. අදත් දේශපාලනඥයෝ එක්ක සම්බන්ධකම් තියන අය ඉන්නවා.

අර මහා පාතාල නායකයෝ අපි අද සිරබාරයට අරගෙන තියනවා. පිටරට ඉඳලා අල්ලාගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප‍්‍රශ්නයට කවුරුවත් අත ගැහුවේ නැහැ. ලෝකයේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයට අතගහනවා අඩුයි. එක කාරණයක් තමයි එක්කෝ මරලා දානවා. එහෙම නැත්නම් බලෙන් පහ කරනවා.

කවුරු කොහොම කිව්වත් අපේ‍්‍රල් 21 ඉතාමත් ඛේදවාචකයක්වූ ත‍්‍රස්වාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරයට ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් සම්බන්ධ වෙලා කරපු වැඩක් කියලා මම කියනවා. මම ගෙනගිය වැඩපිළිවෙළ ආපහු හරවන්න, ඒක ආපස්සට ගන්න, මාව අපකීර්තිමත් කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒක කෙරුවේ.

අද මේ පිළිබඳව විවිධාකාරයේ සංවාද සාකච්ඡා තිබෙනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කළයුතු සියලු දේ කරනවා. මරණීය දණ්ඩනය දිය යුතුයි. මරණීය දණ්ඩනය දුන්නහම විනයගරුක රටක් වෙනවා. බය ඇතිවෙනවා. එකෙන් සමාජය යහපත් වෙනවා. ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත්ම අඩුයි. ළඟම තියන ඉන්දියාවෙත් මරණීය දණ්ඩනය තියනවා. ළඟම තියන සිංගපූරුවෙත් මරණීය දණ්ඩනය තියනවා. ප‍්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණීය දණ්ඩනය තියනවා.

ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා දැන් සති දෙකකට කලින් කිව්වා, ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වළක්වන්න නම්, මුළු රට පුරා මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා එහෙම කියන ගමන්, ලංකාවේ ඉන්න ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ රටේ නියෝජිතයෝ කියනවා, මරණීය දණ්ඩනය කරන්න එපා කියලා. මේ එක එක බණ එක එක්කෙනාට ඕනෑ විදියට. මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවස මම ජාතික ශෝක දිනයක් බවට පත්කරනවා. මේ රටේ අනාගතය පිළිබඳව ප‍්‍රශ්නයක් ඒක.

කුඩුකාරයන්ට, ජාවාරම්කාරයන්ට, පාතාලයින්ට ස්ත‍්‍රී දුෂකයන්ට, ළමා අපචාරකරන අයට, මංකොල්ලකාරයින්ට, රට බාරදීමයි සිදුවෙන්නේ මරණීය දණ්ඩනය පනතින් අහෝසි කළොත්. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව අවදියෙන් ඉඳිවී කියලා. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලන්නේ මරණීය දණ්ඩනය රටට අවශ්‍යයි කියන ජනමතය ගොඩ නගන්න කියලයි. ආණ්ඩුවේ කිහිප දෙනෙකුට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත්කරන්න පනතක් ගේන එක වළක්වන්න මේ රටේ ජනතාව නායකත්වය ගන්නැයි කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා" යැයි ද ජනාධිපතිවරයා කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න