දේශපාලන වශයෙන් මුහුණදී සිටින අති දුෂ්කර තත්ත්වය හමුවේ පොහොට්ටු පාර්ශවය ඉදිරිපත් කර ඇති දැඩි අවාසි සහගත කොන්දේසි පිළිගෙන එම පාර්ශවය සමඟ සන්ධාන ගතවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව තීරණය කර ඇත්තේ ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් වූ ව්‍යවස්ථාවක් සඳහා පොදුජන විසින් ඉදිරිපත් කර ඇති කෙටුම්පත මුළුමනින්ම පාහේ පිළිගැනීමටය.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාකච්ඡා අතර තුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර මෙම දෙපාර්ශවයේ යෝජනා ඇතුළත් කෙටුම්පත් හුවමාරු කරගෙන ඇත. එහිදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කල කෙටුම්පත අධ්‍යයනය කිරීම භාරව සිට ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තපා, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රීලනිප හිටපු මහ ලේකම් ලක්ෂ්මන් පියසේන යන අයය.
ඔවුන් මෙම කෙටුම්පත අධ්‍යයනය කර ඇති අතර එහිදී බහුතර එකඟතාව අනුව තීරණය කර ඇත්තේ පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇති බහුතර කොන්දේසි වෙත එකඟවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.
එසේම යෝජිත සන්ධානය හරහා කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති සිරිසේන වෙත ගැනීමට මේ පිරිසට උපදෙස් නිකුත්ව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රීලනිප කෙටුම්පත පොහොට්ටුවේ කුණු කූඩයේ !
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති කෙටුම්පත පසුගිය 09 වනදා පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව සඳහා හෝ ඉදිරිපත්කර නොමැති බවත් වාර්තා වෙයි.
තවද ශ්‍රීලනිප කෙටුම්පත අධ්‍යයනය කිරීමට දෙයක් නොමැති බවත් සන්ධානයක් ඔස්සේ ඉදිරියට යාමට නම් කල යුතුව ඇතිතේ පොදුජන පෙරමුණේ කෙටුම්පත අනුව ඉදිරි සාකච්ඡා සිදුකර තීන්දුවක් ගැනීම බව එම පාර්ශවය ශ්‍රීලනිපය වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.
ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් තීන්දුවක් ගැනීමට සූදානමින් !
කෙසේවුවත් පක්ෂය ගොඩනැගීම වෙනුවට ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය අනුව එය තුට්ටු දෙකට දමා කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් දැඩි කණගාටුවෙන් පසුවන බවත් වාර්තා වෙයි.
ඔවුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර වෙනම පාර්ශවයක් ලෙස සහයෝගී දේශපාලනයක නිරතවීමට සූදානමක සිටින බවත් ඉදිරි මැතිවරණ අවස්ථාවේ එකී එකඟතා අනුව කටයුතු සිදුවනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

