ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති සිරිසේන යටතේ එහි ඉතිහාසයේ මුහුණදීමට සිදුවූ අවාසනාවන්තම තත්ත්වයට මුහුණදී සිටින අතර එහි අවසන් සටන ලෙස පොහොට්ටුව සමග සන්ධානයක් ඇතිකර ගෙන ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
මේ වන විට පොහොට්ටු පාර්ශවයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ගෝඨාභය රාජපක්ෂ නිල නොවන ලෙස නම්කර ඇති නමුත් එලැඹෙන ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය අපේක්ෂකත්වය වෙනුවෙන් වන අවශ්‍යතා පූර්ණ කිරීමට ඔහුට නොහැකිය යන උපකල්පනය ඇතුව ශ්‍රිලනිප ය මේ මොහොතේ කටයුතු කරමින් සිටින බවත් වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා නම් නොකෙරුණහොත් එම පාර්ශවයට විකල්ප ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව ගැටළුවක් මතුවේ.
ඒ හමුවේ ශ්‍රිලනිප අපේක්ෂාව වී ඇත්තේ අදාල අර්බුදය ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානයක් හරහා කළමනාකරණය කරමින් පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමය.
පොහොට්ටු අපේක්ෂකත්වය හිමිවන්න අපේ අනුමැතිය අවශ්‍යයි ! - දයාසිරිට
මේ අතර ශ්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (17) කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බවය.
එසේ නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලූවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු පැවසීය.

