වැලිකඩ ඝාතනයේ චෝදනා ඇති : රංගජීව සහ එමිල් රන්ජන්ට ඇප !

වැලිකඩ ඝාතනයේ චෝදනා ඇති : රංගජීව සහ එමිල් රන්ජන්ට ඇප !

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙක් සමූහ ඝාතන කළ බවට අධි චෝදනා පත‍්‍ර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාවූ එමිල් රංජන් ළමාහේවා වෙත බාරදුන් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැදුම්කර මත ඔවුන් මුදා හැරීමට අද (18) නියම කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇතැයි දැනුම් දෙමින් සැකකරුවන් මුදා හරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීම් පිළිගනිමින් එලෙස නියම කළේය.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා විසින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුලු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා මහත්වරුන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඊට අදාළ ඇමනුම් පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට බාර දෙන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මඟහැර විදේශගතවී ඇති බව සනාථ කිරීම සඳහා සාක්කි මෙහෙයවීමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නේය.

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත් සිරිවර්ධනද දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නද කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි අතර විභාගය අවසන් වනතුරු තම සේවාදායකයින් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නීතිපතිවරයා ඉල්ලා සිටින්නේ නම් ඒ අවස්ථාවේදී ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා තබාගන්නේ යැයිද පැවසුහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කරුණු ඉදිරිපත් කරමින් මේ අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප නියම කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැත් නඩුව විභාග කරන අවස්ථාවේදී නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසි පැනවීය.

ඇප කොන්දේසි සපුරාලීම සඳහා විත්තිකරුවන්ට කල් ලබාදුන් විනිසුරු මඩුල්ල මෙම නඩුව අගොස්තු මස පළමුවැනිදා යළි කැඳවීමටද එතෙක් රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැ`දුම්කර මත ඔවුන් මුදාහැරීමට නියම කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න