Language Switcher

V2025

රටේ ස්ථාවරභාවයක් ඇති කළ පමණින් සෑම ප්‍රශ්නයක්ම අවසන් යැයි සිතිය යුතු නැහැ - අගමැති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් ගත වන මේ මොහොත වනවිට රටේ ස්ථාවරයක් ඇති කර ගැනීමට හැකිවී තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ශක්තියෙන් තවදුරටත් ඉදිරියට යෑමෙන් ආර්ථික අභියෝගය ජයගත හැකි බව ඊයේ (20) පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව හෙට්ටිපොලදී පැවසීය.

බෝම්බ ප්‍රහාරය සිදුවීමෙන් පසු රටට යළි ගොඩඒමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් ඒ අභියෝගයට ඉතාමත් ශක්තිමත්ව මුහුණදුන් නිසා රට නොවැටී ආරක්‍ෂා කර ගැනීමට හැකි වූ බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ හෙට්ටිපොල නගරයේ ඉදිකර තිබෙන සතිපොළ විවෘත කිරීමේ උත්සවයේදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරුණු අතර, බරම්පොල – හමන්නාපහුව මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹිම, කහටවිල – නුගවෙලගම මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹිම, බණ්ඩාර, කොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ඒ අතර ප්‍රධාන විය.

හෙට්ටිපොල සතිපොල විවෘත කිරීමේ උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

"පාස්කු ඉරිදා බෝම්බ පිපිරී මේ වනවිට මාස තුනක් ගත වී තිබෙනවා. මේ ප්‍රහාරය නිසා ජනතාව තුළ එදා විශාල බියක් ඇති වුණා. රට පුරා බය පැතිරුණා. දිගින් දිගටම බෝම්බ පිපිරෙනු ඇතැයි ඇතැම් අය විශ්වාශ කළා. ආර්ථිකය කඩාවැටී රට විනාශ වනු ඇතැයි මේ අය සිතුවා. නමුත් ප්‍රහාරය එල්ල වී මාස තුනක් ගත වනවිට රටේ යළි ස්ථාවරභාවයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා.

රටේ ස්ථාවරභාවයක් ඇති කළ පමණින් සෑම ප්‍රශ්නයක්ම අවසන් යැයි අප සිතිය යුතු නැහැ. පසුගිය රජය ඉවක් බවක් නැතිව ණය ගැනීම නිසා අද මේ රට විශාල ණය බරක සිරවී සිටිනවා. ඉදිරි වසර 5 තුළ මේ ණය බර ගෙවා දැමීම සඳහා රටේ අපනයනය වැඩිකර ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කළ යුතුයි.

පාස්කු ප්‍රහාරය සිදුවී මාස තුනක් ගත වනවිට රටේ ස්ථාවර භාවයක් ඇති වුණත් ඊට වඩා අභියෝගයකට අපට මුහුණදීමට තිබෙනවා. රට ණය බරින් මුදාගෙන ආර්ථිකය දියුණු කර රට ඉදිරියට ගෙන යෑමේ සටනට අපට මුහුණදීමට තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු රට ආපස්සට ගියේ නැහැ. අනාගතය කඩාවැටුණේ නැහැ. අනාගත ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අප නැවත ශක්තිමත්ව ඉදිරියට යමු.”

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ලංකා ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයේ දැවැන්ත සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව රට තුළ සිදුකර තිබෙන බවයි.

"හොඳම පාසල ළඟම පාසල" වැඩසටහන යටතේ පාසල් දියුණු කිරීම, 13 වසරක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය හඳුන්වාදීම, ටැබ් පරිගණක ලබාදීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ඔස්සේ අධ්‍යාපනයේ වඩාත් ඵලදායී හා ගුණාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට ගත වූ වසර කිහිපය තුළ තමාට හා තම ආණ්ඩුවට හැකිවූ බව මේ අවස්ථාවට එක්වූ අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ 2005 සිට 2014 දක්වා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධන වැඩ වෙනුවෙන් රුපියල් බිලියන 22 ක් වෙන්කර තිබුණත් වත්මන් ආණ්ඩුව වසරක් තුළ ඊට වඩා විශාල වැඩ කොටසක් සිදු කළ බවයි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.