Language Switcher

V2025

වයඹ ආණ්ඩුකාරවරයා : පොත් බිස්නස් එකක !

වයඹ පළාත් සංවර්ධන අරමුදල ගොඩනැගීම වෙනුවෙන් යයි සඳහන් කරමින් වයඹ පළාතේ පාසල්වල දරුවන්ට අභ්‍යාස පොත් විකිණීමේ වැඩපිළිවෙලක් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් කි‍්‍රයාවට නගමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ඒ අනුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් දරුවන්ට අභ්‍යාස පොත් අලෙවි කිරීමට කටයුතු යොදන ලෙසත්, 2019.07.18 වන දින මුද්‍රණ ආයතන විසින් පොත් රැගෙන එන බවත්, එම පොත් ගබඩා කිරීමට ස්ථානයක් සකසන ලෙසත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු වෙත දැනුම් දී ඇති බවත් ගුරු සංගමය සදහන් කරන අතර ඒ ආණ්ඩුකාරවරයාගේ මේ අකටයුත්ත සම්බන්ධව නිවේදනයක් නිකුත්කරමින් ය.

ලංකා ගුරු සංගමය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

එසේම මෙම කටයුතු සඳහා පාසල්වල පිරිමි කාර්යාල කාර්ය සහායකයින් 18, 19, 22 දිනවලදී අනුයුක්ත කර ගැනීමටත්, එම දිනවල ඒ හරහා පාසල්වලට පොත් ලබා දී 2019.07.30 දින පොත් අලෙවියෙන් ලැබෙන මුදල් අමාත්‍යාංශයෙන් පැමිණෙන නිලධාරියාට විදුහල්පතිවරු විසින් කොට්ඨාස කාර්යාලයේ දී ලබා දිය යුතු බවත් දැනුම් දී ඇත.

මෙම කි‍්‍රයාවලියෙන් පාසල්වල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අමතර බරක් පැටවී ඇති අතර, දරුවන්ගේ දෙමාපියන්ට තමන්ගේ කැමැත්තට අනුව දරුවන්ගේ අභ්‍යාස පොත් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වේ. එසේම පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් වසර මුලදීම දෙමාපියන් විසින් ලබාදෙන අතර, වසර මැද දී නැවත අභ්‍යාස පොත් පාසල්වලින් මිලදී ගැනීමට කටයුතු යෙදීමෙන් ඔවුන් අසීරුතාවයන්ට පත්විය හැකිය.

දරුවන්ගේ රැකවරණය සැලසීම ආණ්ඩුවේ වගකීමක් වන අතර, ඒ සඳහා මෙවැනි අරමුදල් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නොමැත. දැනටමත් රජය විසින් දැවැන්ත ප‍්‍රචාරයක් ලබාදෙමින් සුරක්ෂා රක්ෂණය පාසල් දරුවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන බව පවසමින් තිබියදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයා දරුවන්ටම පොත් විකුණමින් සිදුකිරීමට යන මෙම කි‍්‍රයාවක් විහිළුවකි. දෙමාපියන්ට බර පටවමින් මේ ආකාරයෙන් අරමුදල් ගොඩනැගීම නතර කළ යුතු බව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ද ලිඛිතව ඉල්ලා ඇත. වයඹ පළාත් ආණ්ඩුකාර පේසල ජයරත්න මහතා උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාව සිටියදී උතුරුමැද පළාතේ දරුවන් ලවා මේ ආකාරයෙන් අරමුදලක් පිහිටුවීමට යයි ටිකට් අලෙවි කිරීමේ කටයුත්තක නියැලි බව ද වැඩිදුරටත් සිහිපත් කරමු.

එසේම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම කි‍්‍රයාවට අමතරව පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී අනීතික ලෙස කටයුතු කරමින් සිටින අතර, ඔහු විසින් වයඹ පළාත් අධ්‍යාපන පද්ධතිය ව්‍යාකූලත්වයකට ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරමු.