Language Switcher

V2025

නව සන්ධානයක් හරහා දේශපාලන පෙරළියකට සූදානම් - අගමැති රනිල්

රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (24) අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිමෙන් හා අංකුඹුර නව බස් තැවතුම්පොළ විවෘත කිරීමෙන් පසු පැවති ජනහමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

අංකුඹුර – අලවතුවල මාර්ග සංවර්ධනය කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කිරීමටත්, නව බස්නැවතුම්පොළ විවෘත කිරීමටත් මට අවස්ථාව ලැබුණා. ඒ.සී.එස්. හමීඩ් මැතිතුමා මන්ත්‍රීව සිටින කාලයේ මුලින්ම මම මේ ආසනයට පැමිණියා. පළමුවෙන්ම මගේ වැඩ ආරම්භ කළේ නියෝජ්‍ය විදේශ ඇමැති වශයෙන් ඒ.සී.එස්. හමීඩ් ඇමැතිතුමා යටතේ බවත් සඳහන් කළ යුතුයි. අධ්‍යාපන ඇමැති ලෙස මාගේ නම ජනාධිපතිවරයාට ඔහු එදා යෝජනා කළා. අධ්‍යාපන අමාත්‍ය ධූරය මට ගැලපෙන බව ඔහු එදා මට පෙන්වාදුන්නා. එතුමාට ස්තූතිවන්ත වෙන්න එදා මම අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ භාරගත්තා. එතුමා සමග කටයුතු කිරීමේදී බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වුණා. මගේ දේශපාලන ජීවිතයේ කොටසක් මම එතුමාගෙන් ඉගෙන ගත් බවත් සඳහන් කරන්න කැමැතියි.

මේ ප්‍රදේශයේ සෑම අංශයකම විශාල සංවර්ධනයක් ඇති කිරීමට එතුමා කැපවීමෙන් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි. එතුමාගේ අභාවය මෙම ප්‍රදේශයටත්, රටටත් විශාල පාඩුවක් වුණා. ඉන්පසු අබ්දුල් හලීම් මැතිතුමා පළාත් සභාවටත්, පසුව පාර්ලිමේන්තුවටත් තේරී පත් වුණා. ඒ.සී.එස්. හමීඩ් මැතිතුමා වගේම අබ්දුල් හලීම් මැතිතුමත් තමන්ගේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් අවධානය යොමු කර විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා.

ප්‍රදේශයේ රැකියා ලබාදීම, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි වැඩකටයුතුත්, අමාත්‍යංශයේ වැඩකටයුතුත් එතුමා සාර්ථකව සිදු කරගෙන යනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් 2015 වසරේ සිට කටයුතු කිරීම පිළිබඳව එතුමාට ප්‍රශංසා කරන්න කැමැතියි.

අධ්‍යාපන ක්ශේත්‍රයේ වැඩිම සංවර්ධනයක් !

මෙම සියලූ වැඩකටයුතු සිදු කරමින් මෙම ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති කිරීමට එතුමාට හැකියාව ලැබුණේ රජයෙන් ලැබුණු මුදල් නිසා බව සඳහන් කළ යුතුයි. රටේ සෑම ප්‍රදේශයකටම සංවර්ධනය වෙනුවෙන් අප මුදල් ලබාදී තිබෙනවා. ගම්පෙරළිය, රන්මාවත්, විමධ්‍යගත අයවැය, ළඟම පාසල හොඳම පාසල, සෞඛ්‍ය දියුණු කිරීම, උදාගම් වැඩසටහන, වතුකරයේ නිවාස ලබාදීම, සමෘද්ධි සහනාධාර ලබාදීම වැනි විශාල වැඩ සටහන් රට පුරා ක්‍රියාත්මක වන බව කිව යුතුයි.

පාසල් සංවර්ධනය වෙනුවෙන් ඇති කර තිබෙන ව්‍යාපෘති විවෘත කිරීමට ලබන වසරත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන්න කැමැතියි. ඒ නිසා අපි එක් දිනක පාසල් 500 ක ව්‍යාපෘති විවෘත කිරීමට තීරණය කළා. අබ්දුල් හලීම් මැතිතුමාත් මෙම ආසනයේ විවෘත කිරීමට නොහැකි තරම් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

ආණ්ඩුව ගමට කිසිවක් කර නැහැ කියා ඇතැමුන් චෝදනා කරනවා. ඒ චෝදනා අපට පිළිගන්න බැහැ. අපි සෑම ගමකටම වසරකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ලබාදී තිබෙනවා. එවැනි සංවර්ධනයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය මුදල් අමාරුවෙන් අප සොයාගත් බව සඳහන් කළ යුතුයි.

2015 වසරේ රට භාරගන්නා අවස්ථාවේ රට ඉදිරියට ගෙන යෑමට මුදල් තිබුණේ නැහැ. 2009 වසරේ යුද්ධය අවසන් වුවත් 2010 වසරේ සිට රට සංවර්ධනය කරනවා වෙනුවට විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ආණ්ඩුව ගෙන යා නොහැකි තැනකට පත්ව තිබුණා. ඒ නිසා වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් කැඳවීමට පසුගිය පාලකයින් තීරණය කළා.

ණය උගුලක හිරවී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම !

වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් අකමැත්තෙන් වුවත් කැඳවීමට ඔවුන්ට සිදු වුණා. අපි රට භාරගන්නා අවස්ථාවේ ණය ගෙවීමටවත් මෙරට මුදල් තිබුණේ නැහැ. අපි භාරගන්නා විට රටේ තත්ත්වය එය වුවත් රටේ ආර්ථිකය ස්ථාවර කර දියුණු කිරීමට පසුගිය කාලය තුළ අප කටයුතු කළා. ඒ නිසා ණය ගෙවීමට හැකියාවක් තිබෙන බව විශ්වාසයෙන් කිව යුතුයි. ණය ලබාගෙන හෝ ණය ගෙවිය හැකි තත්ත්වයකට අපි දැන් පැමිණ තිබෙනවා.

අයවැය මගින් රටේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට අප පියවර ගත්තා. වැට් බදු පැනවීමේදී බොහෝ පිරිස් අපට දෝෂාරෝපණ එල්ල කළා. එලෙස උපයාගත් ආදායම් අපතේ නොයවා මෙවැනි විශාල සංවර්ධනයක් රට පුරා සිදු කර තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් මාර්ග ඇති කිරීම, ගොඩනැගිලි ඇති කිරීම, යටිතල පහසුකම් ඇති කිරීම වැනි සංවර්ධන වැඩකටයුතු රාශියක් එම මුදලින් සිදු කිරීමට අපට හැකි වුණා.

වසර දෙකකින් අපට සංවර්ධනය කිරීමට මුදල් ලැබෙන නිසා එදා අපි දෝෂාරෝපණ ඉවස ගෙන වැඩකටයුතු කරගෙන ගියා. නිවැරැදි දැක්මකට හා සැලසුමකට අනුව අප කටයුතු කළා. අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපේ අවධානය වැඩි වශයෙන් යොමු කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම, ගුරුවරු බදවා ගැනීම, සුරක්‍ෂා රක්‍ෂණය ලබාදීම, වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම, නවීන තාක්‍ෂණය සමග අධ්‍යාපනය කිරීමට ටැබ් පරිගණක ලබාදීම වැනි විශාල වැඩකටයුතු ප්‍රමාණයක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කර තිබෙනවා. ඒ වගේම ස්ටෙන්ට් නොමිලේ ලබාදීම, ඖෂධ මිල ගණන් පහත හෙළීම වැනි විශාල ආයෝජනයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සිදුකර තිබෙනවා. මහනගර සංවර්ධන අමාත්‍යංශය හරහා නව නගර ඉදිවීම, කොළඹනගරය නවීන මහනගරයක් බවට පත් වෙමින් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රටේ ආරක්‍ෂාව හා ආර්ථිකය කඩාවැටේවි යැයි ඇතැමුන් විශ්වාස කළා. සංචාරක ව්‍යාපාරය විනාශ වේ යැයි ඇතැමුන් ප්‍රකාශ කළා. අතීතයේ බෝම්බ ප්‍රහාර එල්ල වූ විට එලෙස සිදු වුවත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරැදිකරුවන් මාස දෙකක් තුළ අත්අංඩගුවට ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි වුණා.

අපේල් මාසයේ බෝම්බ පිපිරීමෙන් පසු මැයි, ජූලි මාසවල තිබුණු අමාරු තත්වය පහව යමින් මුදල් සංසරණය වැඩිවී ආර්ථිකය ටිකෙන් ටික ඉහළ යමින් තිබෙනවා. මේ වසර අවසන්වීමට පෙර සංචාරකයින් ලක්‍ෂ 20 ක් පමණ මෙරටට පැමිණෙන බව සඳහන් කරන්න කැමැතියි.

අද දේශපාලනඥයන් ගැන රටේ තරුණ තරුණින්ගේ විශ්වාසය බිඳවැටී තිබෙනවා. ඒ නිසා තරුණයින් අපෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. අලූතින් සිතමින් අලූත් අනාගතයක් ඇති කිරීමට ඒ නිසා අපි පියවර ගත යුතුයි. ඉන් බැහැරවීමෙන් පළක් වන්නේ නැහැ. සිදු වූ වැරැදි හඳුනාගෙන එම වැරැදි නිවැරදි කළ හැකි ආකාරය පිළිබඳව අප නැවත සිතිය යුතුයි.

රට තුළ රැකියා බිහි කිරීමට අවශ්‍ය කර්මාන්ත, සේවා, කෘෂිකර්මාන්තය, ධීවර අංශය, නව තාක්‍ෂණ අංශය, වෙළදාම දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීමට අපේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පරිසරය සුරකීම සිදු කරනවාත් සමග සම්ප්‍රදායික දේශපාලනයෙන් ඈත්වී නව දේශපාලනයකට යොමු විය යුතුයි.

2015 වසරේ දී කණ්ඩායම් රැසක් සමග එක්ව පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපති කිරීමට අපි පියවර ගත්තා. අමාරුවෙන් හෝ මේ ආණ්ඩුව වසර 4ක් ඉදිරියට ගෙන යෑමට අපට හැකි වුණා. දිනාගත් ජයග්‍රහණය හා සංවර්ධන වැඩපිළිවෙළ ආරක්‍ෂා කර ගනිමින් නවීන අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් නව දේශපාලන බලවේග ඒකරාශී කරගනිමින් නව දේශපාලන සන්ධානයක් ඇති කිරීමට අප තීරණය කළා.

ඒ අනුව නව සන්ධානය බිහිකිරීමේ වැඩකටයුතු මේ වනවිට අවසන් අදියරේ තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. අප සන්ධාන ගතවීමේ ගිවිසුම් තුළ අඩංගු වගන්ති කිහිපයක තිබුණු ගැටළු සංශෝධනය කරමින් පාර්ශ්වයන් අතර එකඟතාවන් ඇති කර ගෙන තිබෙනවා. මීළඟ මැතිවරණය සඳහා එම නව සන්ධානය තුළින් තරග කරන බව කිව යුතුයි. අමාරු අඩියකට රට වැටී තිබුණු අවස්ථාවක රට ගොඩනැගීමේ වගකීම අප භාරගෙන කටයුතු කළ ආකාරයටම ඉදිරියටත් වැඩ කරනවා. ඒ අනුව රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියේ දී අප ඉදිරිපත් කරනවා.
රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනගන අපේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කිරීමෙන් තොරව අපේ අපේක්‍ෂකයා පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. ප්‍රතිපත්ති මාලාවත්, අපේක්‍ෂකයාත් යන දෙකම අප සතුව තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. රට දියුණු කර ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන කණ්ඩායම්වල වැඩපිළිවෙළ කුමක්දැයි අහන්න කැමැතියි.

නුසුදුසු අයෙකු ජනාධිපති කිරීමේ සූදානමක් නෑ !

ඡන්දය ලබාදීමේන් නුසුදුසු අයෙකු ජනාධිපති කිරීම ඔබේ අරමුණ වන්නේ නැහැ. එම ඡන්දයේදී ඔබටත්, රටටත් සිදුවන සේවය පිළිබඳව සිතා ඡන්දය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අලූතින් සිතමින් නව ප්‍රතිපත්ති සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන සියල්ලකම එකතුවෙන් නව සන්ධානය ඇති කර අපේක්‍ෂකයා නම් කරනවා. එහි මූලික වැඩකටයුතු අපි මේ වනවිටත් සිදු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. නව සන්ධානයක් වශයෙන් ඉදිරිපත්වීමට අපේ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කළ යුතුයි. එම ප්‍රතිපත්ති මගින් රට ගොඩනැගීමට පියවර ගත යුතුයි.
මේ රට ගොඩනැගීමට වෙන කිසිවෙකුටත් බැහැ. අපිම සිතමින් රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. රට ගොඩනැගීම වෙනුවෙන් අප ඉදිරිපත් වන බව සඳහන් කරන්න කැමැතියි. නව සන්ධානය තුළින් දේශපාලන පෙරලියක් ඇති කිරීමටත්, එම පෙරලිය තුළින් රට ගොඩනැගීමටත් අප බලාපොරොත්තු වෙනවා. එක් එක් ආණ්ඩුවල වෙන වෙන පක්‍ෂ සමඟ කටයුතු කර අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. එකට එකතුවී ආණ්ඩු කිරීම, අමාරු කාලවල ආණ්ඩු කිරීම පිළිබඳවත් අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. අප ඇති කරන මේ නව සන්ධානය හැර වෙනත් කිසිම කණ්ඩායමකට එතරම් අත්දැකීම් නොමැති බව සඳහන් කරන්න කැමැතියි.

එක්සත් ජාතික පක්‍ෂයේත් අනෙක් පක්‍ෂවලත් අනන්‍යතාවය රැකගනිමින් නව සන්ධානය ඇති කරනවා. පාඨලී චම්පික රණවක මැතිතුමා ජාතික හෙළ උරුමයේ අනන්‍යතාවය ආරක්‍ෂා කරමින් මේ සන්ධානය හා එක් වනවා. මෙවැනි ශක්තිමත් බලවේගයකට මුහුණදීමට කිසිවෙකුටත් බැහැ. තමන්ට ප්‍රතිපත්තියක් හා රට ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් තිබේ නම් පමණක් පෝස්ටර්, පත්තර, රූපවාහිනි සියල්ල සුදුසු බව සඳහන් කරන්න කැමැතියි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින් හා රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

FB IMG 1566726019284