තාජුඩීන්ගේ සහෝදරිය කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න

තාජුඩීන්ගේ සහෝදරිය කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න

වසීම් තාජුඩීන් කියන්නේ ලංකාවේ රගර් ක්‍රීඩාව ආලෝකමත් කළ ක්‍රීඩකයෙක්. තාජුඩීන්ව මියගියේ 2012 වර්ෂයේ මැයි මාසේ 17 වැනි දිනයකයි. ඔහු මිය ගිය පුවත බොහෝදෙනාගේ හදවත කම්පා කරවන සිදුවීමක් වුණා. මේ ඔහුගේ සහෝදරිය වෛද්‍ය අයේෂා තාජුඩීන් මේ ගැන පුවත්පතකට සඳහන් කළ කරුණුයි.

පවුලේ ඥාතීන් විදියට පරීක්ෂණවලින් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

දැන් ඇත්තම කියනව නම් යන එන මං හොයාගන්න බැරිව අපි ඉන්නේ. ගොඩක් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ පරික්ෂණ මට්ටමින් තියෙන්නේ. කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යම් දෙයක් දන්නවා කියලා අපි දන්නවා. අපිට හැමදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය තිබුණා. ඔවුන් කියන්නේ සාක්ෂි පස්සේ යනවා කියලා. ඒත් දැන් හැමදේම අතරමග නතර වෙලා වගේ.

 පසුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතර වෙනසක් නැද්ද?

 පහුගිය ආණ්ඩුවෙන් මේ සිද්ධිය එළියට ගත්තෙවත් නැහැ. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්දේ හොඳ ප්‍රගතියක් තිබුණා. ඒත් පස්සේ මේ හැමදේම කොහේ හරි හිරවෙලා. මල්ලිගේ දේහය නැවත පරික්ෂණ කරන්න එළියට ගන්න පල්ලිය අනුමැතිය දුන්නා. ඒත් පවුලේ අයට ඒක දරාගන්න බැරි වුණා. ඒ මීට අවුරුදු දෙකකට කලින්. වෙනසක් නැහැ. ප්‍රශ්නෙ එක තැනමයි.

 කාගෙද ප්‍රමාදය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙද?

අපට හිතාගන්න බැහැ සිද්ධ වෙන දේවල්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක. ආනන්ද සමරසේකර අත්අඩංගුවට නොගන්න හේතුව විමසද්දි සීඅයිඩී එක අපිට කිව්වෙ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අණ ලැබුණේ නැහැ කියන දේ. දැන් ආනන්ද සමරසේකර තමන්ම ඉදිරිපත් වෙලා ඇප අරගෙන එළියෙ ඉන්නේ.

ඉදිරියට ගන්න පියවර මොනවද?

ඇත්තටම මොනවා කරන්නද හිතාගන්න බැහැ. ලංකාවේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ගැන කියන්න ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් හමුවෙලා තියෙනවා. තෙවැනි වතාවටත් අපි එතුමාට මේ ගැන කිව්වා. නීතිපති දෙපාර්තමේන්තුවට එතුමා අවවාද කරලා තිබුණා. දැන් ඒ සිදුවීම වෙලත් මාස දෙකකට වැඩියි.

ඡන්ද වේදිකාවල තාජුඩීන්ගෙ නම කේවල් වෙන එක ගැන මොකද හිතන්නේ?

ඡන්ද වේදිකාවල ඇතිවෙනකම් මඩ ගැහුවා. මේ ඡන්දෙට නම් මේ ගැන කියනවා මට ඇහිලා නැහැ. ඒ වෙනකම් තමයි මං බලාගෙන ඉන්නේ.

දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ අය විපක්ෂයේ ඉද්දි යුක්තිය ඉටුකරන්න දීපු පොරොන්දු ගැන මොකද හිතන්නේ?

ඇත්තටම දේශපාලනඥයන්ගෙ මේ නඩුවට ලොකු සම්බන්ධයක් තිබුණෙ නැහැ. යහපාලන ආණ්ඩුව ඇවිත් මේක භාරගත්තම සීඅයිඩී එකත් එක්ක අපි සම්බන්ධවෙලා හිටියේ. සමහර මැති ඇමතිවරු පුද්ගලිකව කතා කරලා තියෙනවා. ඒත් අපට යුක්තිය ඉටු වුණේ නැහැ.

අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් ඇති?

නැතිවුණ දේ අඩුව දැනෙන්නේ අපිට විතරයි. කාලයක් යද්දි හැමෝටම මේක අමතකයි. අපේ ආගමේ විදියට කවදා හරි ඇත්ත හෙළිවේවි. ඒ වෙනකම් අපි බලාගෙන ඉන්නවා.

(adaderana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න