Language Switcher

V2025

බැඳුම්කර 'රහස්' හෙළිකරන්නැයි රවිට බලපෑම් !

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් ඊට සම්බන්ධ අනෙකුත් එජාප මැති ඇමතිවරුන් හෙළිදරව් කරන්නැයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බලපෑම් කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

එවැනි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කිරීමත් සමගය.

කෙසේවුවද පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ ඊයේ පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවේ දීය.

බැදුම්කරේ සියළු පවු රවී පිටට !

මේ අතර ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියක සඳහන් වන්නේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීම සඳහා රවී කරුණානායක මහතා පාවාදී ඇති බවයි.

බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

එම නිවේදනය බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක් බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි.

thalatha athukorala

'බැඳුම්කර සිද්ධියට එජාපයට චෝදනා කරන්නේ දේශපාලන අනාථයින්' - තලතා

තලතා ගෙන් කනේ පාරක් !

ඒ අතර අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ, බැඳුම්කර සිදුවීම මූලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීම සඳහා බංකොළොත් වුණු දේශපාලන අනාථයන් කටයුතු කරන බවයි.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂයට චෝදනා නගන්න බංකොළොත්වුණ දේශපාලන අනාථයන් කටයුතු කරනවා. මේ චෝදනාවට ලක්වුණු අපේ අමාත්‍යවරයෙක් අමාත්‍ය ධුරයෙන් පවා ඉල්ලා අස්වුණා.

පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු වනතුරු පක්ෂයේ තනතුරුවලිනුත් ඉවත් වෙලා ඉන්න.

ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි බලය තියෙනකොට රටේ අගමැතිවරයෙක් කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ. අපි නිවැරදි පක්ෂයක්.

මීට පෙරත් චෝදනා එල්ල වුණු අවස්ථාවක තිලක් මාරපන මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. රවි කරුණානායක මහතා ඉවත් වුණා. මේවා හොඳ දේශපාලන ආදර්ශ.

 'මේ ආණ්ඩුව 2020 වෙනතුරු තියනවා'

පෙබරවාරි 10න් පස්සේ කවුරුහරි හිතනවා නම් මේ රටේ බලය වෙනස් වෙනවා කියලා ඒක හීනයක්.

මේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරගෙන යනවා. ''

 mr16'බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම නාඩගමක්‌ වෙලා' - මහින්ද රාජපක්‍ෂ

 කෙසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 'දිවයින' පුවත්පතට පවසා ඇත්තේ, බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක්‌ වී ඇති බවයි.

ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බව පවසන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද ද සඳහන් කර තිබේ.

''වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්‌. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම වියයුතු නැහැ. බැඳුම්කර වංචාවේ උදවියට කරන දඬුවම් හරියටම නාඩගමක්‌ වගේ. අපි ජනතාව සමඟ මේ නාඩගම දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.''