මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ - අනුර කුමාර

මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ - අනුර කුමාර

මේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.

ඔහු මෙසේ පැවසූයේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවති ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ ”වැඩකරන ජනතා සමුලුව” අමතමිනි.

එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

‘‘දැන් එළැඹ තිබෙන්නේ හොඳම නිදිමරන්නා තේරිමේ තරගයක් හෝ හොඳම සොරමුල තේරීමේ හෝ සොරමුලකට නායකයෙක් තේරීමේ තරගයක් නෙවෙයි. ඉදිරි වසර පහක කාලය සඳහා රටේ පාලනය සඳහා තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කර ගැනීමයි.

මේ රට හැදිය හැකි, ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකළ හැකි නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාවයි. මෙවැනි අවස්ථා ඉතිහාසයෙත් ජනතාව හමුවට ආවා. එහෙත් අපේ රටේ ජනතාව ඒ හැම විටකදීම හොඳම තෝරා ගැනීමට අසමත් වුණා. ඔවුන් තෝරා ගත් නායකයින්, කණ්ඩායම් රට ගෙනගොස් තිබෙන්නේ විනාශකාරී අන්තයකටයි.

මේ රටට තවදුරටත් ඒ විනාශය අත්වීමට ඉඩ දිය යුතු නැහැ. රටක් හදන්න මැජික් කාරයින්ට බැහැ. රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාවලියක් නෙමෙයි. සාමූහික ක‍්‍රියාවලියක්.

ලොව සෑම රාජ්‍යයක්ම ගොඩනගා තිබෙන්නේ සාමූහික ක‍්‍රියාවලියක් තුළයි. රටට නායකත්වය දෙන දූෂිත දේශපාලනයේ, දැනුම ලබාදෙන වෘත්තීයවේදීන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මැදිහත්වීම ඊට අවශ්‍යයි.

අප සතුව ඒ බලවේගය ඉන්නවා. අද මෙතන මේ රැස්වෙලා ඉන්නේ ඒ බලවේගයයි. මේක හදන්න පුළුවන් රටක්. අපි ඒ රට භාරගත යුතුයි.

අපේ රටේ අයියා වරාය ඇමති වෙනකොට මල්ලි වරායේ සභාපති. ඒ අයියාම තෙල් ඇමති වෙනකොට ඒ මල්ලිම තෙල් සංස්ථාවේ සභාපති. අයියා ජනාධිපති වෙනකොට මල්ලි ටෙලිකොම් එකේ සභාපති. අයියා ජනාධිපති වෙනකොට මස්සිනා එයාර් ලංකා එකේ සභාපති. එවැනි දේශපාලනයක් අපිට නැහැ. අපි ඇමතිකම් දරපු කාලේ හොයලා බලන්න අපි සභාපතිකම්වලට ලේකම් තනතුරුවලට දැම්මේ ඒ තනතුරුවලට දක්ෂ, ඒ ගැන දැනුමක් ඇතී වෘත්තිය සුදුසුකම් ඇති අයයි.

රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකියි. මේ ගමන නව දිශාවකට යොමු කළ යුතුයි. සහතික වශයෙන්ම මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙනවා.

මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ. අප මේ රටේ වැඩකරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනගන මාවතට අපත් සමඟ එකතු වන ලෙසයි.‘‘

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න