Language Switcher

V2025

රැකියා පමාවීමට හේතුව : රැකියා දෙමින් අගමැති කියයි !

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ඇරඹිමට හැකිවූ බවත් එය පදනම් කර ගනිමින් රැකියා අපේක්‍ෂිත සියලූ දෙනාටම නව රැකියා ලබාදීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (18) දින අරලියගහ මන්දිරයේ දී පැවති බාහිර උපාධිධාරීන් 4200 ක් සඳහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

රැකියා දීම පමාවීමට හේතුව !

මෙම පත්වීම ලැබෙන තුරු බොහෝ කාලයක් ඔබ බලාපොරොත්තුවෙන් සිටියා. පත්වීම් ලබාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර පවා පැවැත්වීමට කටයුතු කළා. උපාධිය ලබාගැනීමෙන් පසුව රැකියාවක් ලබාගැනීමේ අවශ්‍යතාවය ඇතිව ඔබ සියලූ දෙනාම කටයුතු කළා. පත්වීම් ලබාදීමට අප කොතරම් කැමැත්තෙන් පසුවුවත්, ආණ්ඩුවක් වශයෙන් පළමුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සිදුවූ නිසා එය ප්‍රමාද වුණා.

අපි ආණ්ඩුව බාර ගන්නා අවස්ථාවේ රට විශාල අර්බූදයකට මුහුණ දී තිබුණු බව සදහන් කරන්න කැමතියි. මීට පෙර ආණ්ඩුවට විසදිය නොහැකි වුණු අර්බූද විසදීමට අප කටයුතු කළා. රටේ ණය බර වැඩිවී තිබූ නිසා නැවත ණය ලබාදීමට ලෝකයේ බැංකු හා ආයතන කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම වෙනත් ආදායම් මාර්ගයක් රටට තිබුණේ ද නැහැ. ආදායම් ඉපයීම හා ණය ලබාගැනීමට නොහැකිව තිබුණු රට ස්ථාවර භාවයක් කරා ගෙන ඒමට අප පියවර ගත්තා.

පළමුවෙන්ම එම ගැටළු හා අභියෝගවලට මුහුණ දී ජය ගැනීමට සිදු වූ බව සඳහන් කළ යුතුයි. ලබාගත් ස්ථාවරත්වයත් සමඟ ලොව මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගෙන ඒ හරහා ණය ලබා ගැනීමටත් පසුව අපට හැකියාව ලැබුණා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට අපට සිදුවුණා. පළමුව ඒ වෙනුවෙන් අපේ අවධානය යොමු කළා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එය සිදු කිරීමට සිදු වූ බව සඳහන් කරන්න කැමතියි.

අධ්‍යාපනයට සහ සෞඛ්‍යට වැඩිම මුදලක් වෙන්කරා !

එම වැඩකටයුතු සිදුවන අතරතුර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සමාජ ආයෝජන සිදු කිරීමටත් අප තීරණය කළා. යටිතල පහසුකම් වෙනුවෙන් සිදුකරන ආයෝජන නැවත ආර්ථිකයට එක් වුණා. මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට මීට පෙර කිසිදු ආණ්ඩුවක් වෙන් නොකළ මුදල් ප්‍රමාණයක් අප ආයෝජනය කර තිබෙනවා. ඒ යටතේ ස්ටෙන්ට් ලබාදීම, සුවසැරිය ගිලන් රථ සේවය ඇතිකිරීම, ඔඣීෂධ මිල අඩුකිරීම, රෝහල් නවීකරණය කිරීම, අලූතින් වෛද්‍ය පීඨ ඇතිකිරීම, ශික්ෂණ රෝහල් ආරම්භ කිරීම, ළගම පාසල හොඳම පාසල වැඩසටහන මගින් පාසල් ගොඩනැගිලි හා උපකරණ ලබාදීම, සුරක්ෂා රක්ෂණය මගින් පාසල් සිසුන් රක්‍ෂණය කිරීම, අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් පාසල්වලට අනුයුක්ත කිරීම, වැනි වැඩකටයුතු වෙනුවෙන් අප ආයෝජනය කර තිබෙනවා.

සමාජ අංශය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් තවත් මුදල් වෙන් කරන අතරතුර රැකියා බිහි කිරීමේ වැඩ පිළිවෙල අප ආරම්භ කළා. රැකියාවක් ලබාගැනීමේ ඔබේ බලාපොරොත්තුවට ප්‍රමුඛතාව ලබාදිය යුතු වුවත් රට මුහුණ පා තිබූ අභියෝග හමුවේ එම කටයුත්ත ප්‍රමාද වුණා.

අද දිනයේ දෙවන කාණ්ඩය යටතේ ඔබ සියලූ දෙනාටම පත්වීම් ලබාදෙන බව සඳහන් කරන්න කැමතියි. ඉතිරි පිරිසටත් රැකියා ලබාදීමට ලබන වසර තුල අප කටයුතු කරනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුල අප කටයුතු කර තිබෙනවා. එක් එක් අංශය වෙනුවෙන් අප සිදුකළ ආයෝජන නිසා රටේ අපනයන ඉහල නැංවීමට හැකිවුණා.  

ආර්ථිකය ශක්තිමත් නැත්නම් පඩි ගෙවන්න බැරි වෙනවා !

ආර්ථිකය ශක්තිමත් නොවුනහොත් රැකියා සඳහා වේතන ගෙවීමට ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි මූලිකත්වය ලබා දුන්නා. අප ගත් තීරණ නිසා මේ වන විට ආර්ථිකය ස්ථාවරභාවයට පත්වී තිබෙනවා. එම ස්ථාවරභාවයත් සමඟ අපට දැන් ඉදිරියට ගමන් කළ හැකියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනාට සැක මතුවුණා. නමුත් ආර්ථිකය කඩා වැටීමට අප ඉඩ තැබුවේ නැහැ. අත්කරගෙන තිබෙන ස්ථාවරභාවයත් සමඟ ඉදිරි වසර 05ක කාලය තුල නව රැකියා බිහිකිරීමට අප කටයුතු කරනවා. ඒ නව රැකියා බිහි කිරීමට අවශ්‍ය නව ආයෝජන ඇති කිරීමට අප පියවර ගනිමින් සිටිනවා.

අධිවේගී මාර්ග වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් අප ආයෝජනය කර තිබෙනවා. අලූතින් වරායන් ඇති කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම වැනි ආයෝජනයට අවශ්‍ය කරන පසුබිම අප සකස් කර තිබෙන බව කිව යුතුයි. එම පසුබිම තුලින් ආයෝජන ලබාගෙන රැකියා බිහිකිරීමේ වැඩපිළිවෙල අප ආරම්භ කර තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත ක්ෂේත්‍රය, සේවා අංශය, ප්‍රවාහනය, ගුවන්තොටුපල, වරාය සංවර්ධනය වැනි සියලූ ක්ෂේත්‍රවලින් අප ඉදිරියට පැමිණ තිබෙනවා. පළමු වටය අවසන් කර තිබෙන නිසා දෙවන වටයට නව රැකියා බිහිකිරීමට අප කටයුතු කරනවා.

හොඳ රැකියාවක හා හොඳ ආදායම් මාර්ගයක අවශ්‍යතාව සියලූ දෙනාටම තිබෙනවා. ස්වයං රැකියාවක, රජයේ රැකියාවක, පෞද්ගලික අංශයේ රැකියාවක වුවත් ත්‍රිරෝද රථ රියදුරෙක්, ආණ්ඩුවේ පර්යේෂණ අංශයේ සිටියත්, පෞද්ගලික අංශයේ කළමණාකරුවෙක් වුවත් සියලූ දෙනාටම හොඳ ආදායම් මාර්ගයක අවශ්‍යතාව හා බලාපොරොත්තුව තිබෙනවා.

නව රැකියා සහ නව ආදායම් මාර්ග ඇතිකරනවා !

ඒ නිසා රැකියා බිහිකිරීමේ වැඩකටයුතු සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන ගොස් ආදායම් ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. මෙම තත්වයට පැමිණීම සඳහා කාලයක් ගත වූ බව මම පිළිගන්නවා. ඒ නිසා ඇතැම් විට ඔබ සිත් වේදනාවෙන් පසුවෙන්න ඇති. නමුත් මේ ගමන කෙටි පාරෙන් යන්නට බැහැ. එලෙස කෙටි පාරෙන් ගමන් කළා නම් පත්වීම් ලබන ඔබගේ වේතන ගෙවීමට තිබෙන ආර්ථික ශක්තිය නැතිවීමටත් ඉඩකඩ තිබුණා.

එම ශක්තිය හා බලාපොරොත්තු ඇතිව මෙම ගමන ඉදිරියට යා යුතු බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තවත් විශාල පිරිසකට මෙවැනි රැකියා හා නව ආදායම් මාර්ග බිහිකර දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, මහා විද්‍යාල තුලින් පිටවුවත් ඒ සියලූම දෙනාටම රැකියා ආදායම් මාර්ග ලබාදීමට ඉදිරි වසර 05 ක කාලය තුල අප කටයුතු කරනවා. ඒ හරහා මේ රට ගොඩනැගිය හැකි බව සඳහන් කරන්න කැමතියි.

ඒ තුලින් අපට රට ගොඩගත හැකියි. අපේ රට ගොඩගැනීමට වෙනත් රටවලට යුතුකමක් හෝ වගකීමක් නැහැ. ඒ නිසා අපි අපේ ශක්තියෙන් රට ගොඩනැගීමට පියවර ගත යුතුයි. එම ශක්තිය තුලින් අනාගතයට බියෙන් තොරව මුහුණදීමට හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.  අවසාන වශයෙන් අද දිනයේ පත්වීම් ලබන ඔබ සියලූ දෙනාටම මගේ සුබ පැතුම් එක් කරනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයෙ ලේකම් වී. සිවඥාණෙසෝති ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.