ඇලිට් සමාගම නෙලුම් කුළුණ ව්‍යාපෘතියෙන් නොකියම ඉවත් වෙලා !

ඇලිට් සමාගම නෙලුම් කුළුණ ව්‍යාපෘතියෙන් නොකියම ඉවත් වෙලා !

ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) ඔවුන්ගේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සඳහන් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් තානාපතිවරයා මේ බව සදහන් කරන අතර නෙළුම් කුලුන ඉදිකිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ව්‍යාපෘතියට චීන සමාගම් දෙකක් අත්සන් තැබූ බවත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) ඉන් එක් සමාගක් බවත් අනෙක් සමාගම ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) බවත් එහි දැක්වෙයි.

නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති  සිරිසේන  ඉකුත් දා චෝදනා කළේය. ඒ නෙළුම් කුලුන ඉදි කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

ජනාධිපති සිරිසේන  2018 වසරේ මැදදී දුරකතන ඇමතුමක් දෙමින් ඇලිට් සමාගම පිළිබඳව තොරතුරු සොයන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව කළ සොයා බැලීම්වලදී ලබාදී තිබූ ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව අනාවරණය වූ බවත් තානාපතිවරයා  සඳහන් කර ඇත.

මහත් පරිශ්‍රමයකින් පසුව ඇලිට් සමාගම වෙනත් තැනකට ගෙන ගොස් ඇති බව අනාවරණය වූ බවත් සමාගමේ එවකට සිටි නිලධාරීන්ගෙන් කළ විමසීම්වලදී එම සමාගම නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියේ තවදුරටත් සම්බන්ධ නැති බව දැනුම් දුන් බවත් එම නිවේදනයේ දැක්වේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එම අවස්ථාවේදී ඇලිට් සමාගමේ නිලධාරීන් අතර කරන ලද හමුව සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වාර්තාවක් සකස් කර විදුලි සංදේශ නියාමන කොමිසමට දුන් බව ද කරුණාසේන මහතා සඳහන් කර ඇත. චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමඟ සබඳතා ඇති කරගැනීමට හැකි වූ බව ද හෙතෙම එහි සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද  නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.  

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න