Language Switcher

V2025

මතභේදාත්මක කැබිනට් හමුව : අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න !

විශේෂ කැබිනට් රැස්වීම පැවැති දින පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දුරකතනයෙන් ඇමතූ බවත් එදින අමාත්‍ය රවී කරුණනායක  තමාට කථා නොකල බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි.

මතභේදයට තුඩු දුන් එම කැබිනට් රැස්වීම පිළිබඳව එකසත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අද (22) කොළඹ අරලිය ගහ මන්දිරියේදී හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව පැවැසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද සදහන් කර තිබේ.

“පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්‍ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තව දුරටත් පෙනී සිටින බවත් මම ඔවුන්ට දැන්වූවා.

එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 වන සංශෝධනය සඳහා සහය දීමේ කැබිනට්  තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා සැකසූ කෙටුම් පතක් ඔවුන් 16 වෙනිදා මට ලබා දුන්නා.

අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහය ලැබීමෙන් තොරව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්‍ෂවල අදහස මා වෙත දැනුම් දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

17 වන දා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රීතුමා මට පැවසුවේ විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වූ බවයි. ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වන සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බව මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. එතැනදී මම සුමන්තිරන් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බවයි.

සුමන්තිරන් මන්ත්‍රීතුමා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිසිවෙකු ප්‍රතික්ෂේප කර නැහැ.

19 වෙනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රී තුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මන්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා.

එදින රවි කරුණානායක මහතා මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ.

උදේ නවය පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස තුනට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. ඉන් පසු මගේ ලේකම්වරයා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම් පත අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කළා.

සවස 02 ට ඇමතිවරුන් කැඳවා මම මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියළු දෙනා විවෘතව අදහස් පළ කළා. එහිදී 20 වන සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නෑ.

මම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිතුමාට ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති බව දැනුම්දුන්නා. රැස්වීම  ආරම්භයේදී මම ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැබිනට් ලේකම්වරයාට දැනුම් දුන්නේ, ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති නිසා කැබිනට් කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවයි. ඇමතිවරුන් දැක්වූ අදහස් මම ඒ රැස්වීමේදී සම්පිණ්ඩනය කළා. ඇමැතිවරු විවිධ අදහස් පළ කළා. අවසන් තීරණය ගැනීම එක් එක් පක්‍ෂවලට භාර කිරීම සුදුසු බව අප නිගමනය කළා.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදු වුණු කරුණු පමණයි.

ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්නට හෝ දොස් කියන්නට හෝ මම කටයුතු කරන්නේ නැහැ.