ගෝඨාගේ ද්විත්ව පුරවැසි භාවයට අදාළ ලිපිගොනු නෑ : ආගමන විගමන පාලක දන්වයි !

ගෝඨාගේ ද්විත්ව පුරවැසි භාවයට අදාළ ලිපිගොනු නෑ : ආගමන විගමන පාලක දන්වයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය  රාජපක්ෂගේ  ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක අද ( 02 ) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ආගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව දැනුම් දුන්නේය.
 
2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කල බවද එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුව පැවති කිසිදු   ලියැවිල්ලක් විනාශ නොකළ බවද ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.

එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ  වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු  දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකරන බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ  කියා සිටියේ එම චෝදනාව අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවත්ය.

මෙම පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන  ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් හෙට (03) සහ අනිද්දා (04) යන දෙදින තුළත් විභාග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ විසින්  මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත. 

මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක  නම් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න