දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සකස් කළ යෝජනා මාලාව පිළිබඳව එහි සාමාජික සාමාජිකාවන් සමග පසුගියදා කොළඹඅරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මේ බව පැවසීය .
එසේම 2015 වසරේ දැරිය නොහැකි ණය බරක් සහිත ආණ්ඩුවක් බාර ගැනීමට සිදු වුවද, මේ වන විට ඒ ණය බර ලිහිල් කරගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කරලීමේ ඉදිරි ගමනකට දේශය යොමු කරලීමේ අභියෝගය රජය ජය ගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මේ ආකාරයෙන්ම වේගයෙන් ඉදිරියට යෑමෙන් 2030 වසර වන විට ණය බරින් ගැලවීමට හැකියාව උදා කරගත හැකි බවද, නව රැකියා සහ ආදායම් මාර්ග නිර්මාණය කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ඉලක්ක සපුරාගැනීමට හැකිවන්නේ වෙළඳපොළ අපනයනය මුල්කරගත් ආර්ථිකයක් තුලින් බව සියලූ දෙනා එකඟ වූ පොදු මතය විය.
සුළු ව්‍යාපාරයක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ආරම්භ කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටළු හා දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එක් කේන්ද්‍රයක් මගින් සියළු සේවාවන් කඩිනමින් සැපයීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව තදබල ලෙස මතුවී ඇති බව වාණිජ මණ්ඩල නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්මාන්ත නවීකරණය, මූල්‍ය ක්ෂේත්‍රය, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන හා ප්‍රවාහන සේවා, පරිපාලන ගැටලූ, නියාමන හා නීති රීති, පුද්ගලික සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.
සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් මණ්ඩල හා සංවිධාන සමග සාකච්ඡා කොට පොදු එකඟතාවයකට පැමිණීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මහනුවර - කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, උප සභාපති විස් ගෝවින්දසාමි ඇතුළු වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.