Language Switcher

V2025

තේනුවර සහ වියන්ගොඩ පැරදුණාද ?

පැරදුණ තේනුවර සහ වියන්ගොඩ !
 
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධවේදී ගාමිණී වියන්ගොඩ විසින් ගොණුකරන ලද රිට් පෙත්සම ඉවත දැමීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් එ්කමතිකව තීන්දු කරන ලදී. 
 
ඒ හා සමගම ඔවුන් වෙත පසුගිය දින කිහිපය තිස්සේ එල්ල වෙමින් පැවති අවලාද, නින්දා අපහාස, ශාප කිරීම් දෙගුණ තෙගුණ වී ඇති බව පෙනේ. ඔවුන් සාර්ථක විණි නම් එහි වාසිය ලැබීමට සිටි එජාපයද ඉතා පහසුවෙන් "එය අපේ වැඩක් නොවේ" කියමින් ඇඟ බේරාගනු දක්නට ලැබුණි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියෙකු වශයෙන් මේ මොහොතේ ඔවුන් වෙනුවෙන් යමක් කිව යුතු වේ. 
 
චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යනු එකවරම අහසින් පහත් වූ චරිත දෙකක් නොවේ. චන්ද්‍රගුප්ත තේනුවර එජාපයේ ඉත්තෙකු යැයි කියවුණද 88-89 වකවානුවේ අතුරුදන් වූවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත්තෙකි. දිගින් දිගටම සක්‍රීය ලෙස උගතෙකුගෙන් කළාකරුවකුගෙන් අපේක්ෂා කළ හැකි අන්දමේ පරිණත දේශපාලනයක නිරත වූවෙකි. තමාගේ ක්ෂේත්‍රය වන චිත්‍ර කලාවේදී ඉතා ප්‍රබල භාව ප්‍රකාශකයෙකි. 
 
ගාමිණී වියන්ගොඩ හඳුනා ගැනීම අන්ධයන් අලියා ගැන කියන සීරුවට කළ නොහැක්කකි. එයට ඉතා පරිස්සමෙන් ඔහුව කියවා බැලිය යුතුය. ඔහු කලක් තිස්සේ රාවය පුවත්පතට ලියූ සහ දැන් අනිද්දා පුවත්පතට ලියන "අවරදිග ආවර්ජනා" තීරු ලිපිය ඔහු හඳුනාගැනීමට එක් කවුළුවකි. දුරින් සිට ඔහු හැඳිනිය ⁣නොහැකි බව මම පුන පුනා කියමි. ඔහු දරණ ලද මතවාදය හා නියෝජනය කරන මතවාදී රාමුවේ හැඩගැස්ම අවබෝධ කරගත්තෝ ඔහුට ආදරය කරති. නිර්භය විවේචකයෙකු, ප්‍රබල විසම්මුතිකයෙකු, මුල් කෘතියේ ජීවගුණය රකින පරිවර්තකයෙකු, මානව හිතවාදියෙකු, අති දක්ෂ කථිකයෙකු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විදග්ධයෙකු වශයෙන් ඔහුට නිරතුරුවම මගේ ආචාරය හිමිවේ. 
 
මේ අවස්ථාවේදී චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති තැනැත්තෙකුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන ලදී. එය එක් අතෙකින් ඕනෑම පුරවැසියෙකුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අභ්‍යාස කිරීමකි. යම් ගැටලුවක් ඇති කළ, එය බැලු බැල්මට නිරාකරණය වන බවක් නොපෙනෙන කළ කිසිවෙකු ඉදිරිපත් වී එය අධිකරණයක් හමුවට ගෙනගොස් නිරාකරණය කිරීම ගෞරවයට හේතුවකි. 
 
ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමෙන් සාධනීය ප්‍රතිවිපාක දෙකක් ඇතිවිය:- 
 
1. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු - ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ වලංගුභාවය පිළිබඳව තිබූ සැක සංකා දුරුවීම. එය ගෝඨාභය රාජපක්ෂටම විශාල උදව්වක් වන අතර නව පණකින් යුතුව මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට යහපත් ආරම්භයකි.
 
2. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නැවතත් තහවුරු වීම සහ ඒ පිළිබඳව සුවිශේෂී මඟ සළකුණක් (landmark) සනිටුහන් කිරීම. අනාගතයේදී යම් දේශපාලනඥයෙකු අධිකරණයට අතපෙවීමට උත්සාහ කරන්නේ නම් ඔහුට මෙම ඓතිහාසික අවස්ථාව නිතැතින්ම මතකයට නැගෙනු ඇත. එය බලාසිටින ජනතාවටද මෙය මතකයට නැගෙනු ඇත. එය නිතැතින්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රමිතියක්ද ස්ථාපිත කරනු ඇත. 
 
පෙත්සම ඉවත දැමුණද ඒ පිළිබඳව පහත කරුණු නොසලකා හැරිය නොහැකිය. 
 
1. ඔවුන් අභියෝගයට ලක්කරන ලද්දේ දවස් තුනක් (සති අන්ත දින දෙකක් ඇතුලත්ව) ඇතුලත නිකුත්  කරන ලද පුරවැසිභාවය පිළිබඳව සහතිකයකි. 
 
2. එවැනි කෙටි කාලයකින් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකයක් ලබාගැනීමට ඔබ සහ මම වැනි සාමාන්‍ය පුරවැසියන්ට කිසිසේත් නොහැකිය. 
 
3. ඔහු සතුව තිබූ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකයට අදාළව අනිවාර්යයෙන්ම තිබියු යුතු වාර්තා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොතිබුණි. 
 
4. ඔබ මම වැනි සාමාන්‍ය පුරවැසියෙකු අත රජයේ කාර්යාලයේ වාර්තා හා සමපාත නොවන යම් ලේඛනයක්, සහතිකයක් හෝ බලපත්‍රයක් ළඟ තබාගෙන සිට හසුවීනම් කුමන ඉරණමක් අත්වනු ඇත්තේදැයි සළකා බැලීම වටී. 
 
5. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ අයදුම්පත් අංකය අනුව ගත්කල එන ලැයිස්තුවේ එකී අංකයට අදාළව තිබුණේ වෙනත් පුද්ගලයෙකුගේ නමකි. 
 
6. ඔබේ මගේ යම් අනන්‍යතා ලේඛනයක අනුක්‍රමික අංකයකට අදාළ රජයේ ලැයිස්තුවක වෙනත් නමක් තිබුණේ නම් බොහෝවිට තවම ඇපවත් නොලබා රක්ෂිත බන්ධනාගාරයේය. 
 
7. ඉහත කී කරුණු කිසිවක් ගෝඨාභය රාජපක්ෂට අදාළ ඒවා නොවේ. ඔහු ඔහුවෙත නිකුත් කරන ලද නීත්‍යානුකූල යැයි ඔහු සද්භාවයෙන් විශ්වාස කරන සහතිකයක සද්භාවී දාරකයාය.
 
8. එවැනි කතා මීට පෙරද අසා ඇත. ඩේසි ආච්චිගේ මැණික් මල්ල එයට එක් උදාහරණයකි. 
 
චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ප්‍රශ්න කරන ලද්දේ එහෙව් සහතිකයක් පිළිබඳවය. එ්වා සාමාන්‍ය සිහිබුද්ධිය ඇති ඕනෑම පුරවැසියෙකුගේ ඔලුවට එන නමුත් ප්‍රශ්න කිරීමට බියවන කරුණුය. ඒ බියට හේතුව ප්‍රශ්න වලට විෂය වන පුද්ගලයාය. ඔහු කළක් ශ්‍රී ලංකාවේ කිසිවෙකුට ප්‍රශ්න කිරීමට අයිතියක් නැති පුද්ගලයෙකු විය. ඔහු අදටත් ප්‍රශ්න කරනු ලැබිය හැකි සීමාවට නොපැමිණීමට පරිස්සම් වන්නෙකි. එවන් පුද්ගලයෙකුව ප්‍රශ්න කිරීමට තරම් වූ නිර්භීතබාවය අචාරයට පාත්‍ර විය යුතු එකකි. 
 
අධිකරණය එම පෙත්සම ඉවත දැමීමට තීරණය කරන ලදී. නීතිගරුක පුරවැසියන් වශයෙන් අධිකරණ තීරණයට ගරු කිරීමට අප බැඳී සිටිමු. 
 
නමුත් තේනුවර සහ වියන්ගොඩ ආරම්භ කරන ලද "සාමාන්‍යයෙන් ප්‍රශ්න නොකරන්නන් ප්‍රශ්න කිරීමේ සංස්කෘතිය" මෙයින් අභාවයට යාමට ඉඩදිය යුතු නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ නවතම ප්‍රවණතාවය ලෙස දිරිගන්වා ඉදිරියට ගත යුතුය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලෝම භේදයකින් තොරව පෙළගැසිය යුතුමය.
 
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ,
 
 "ප්‍රජාතන්ත්‍රවාදය අගයන නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මම මට පිදිය හැකි ඉහළම ගෞරවය ඔබට පිදීමට කිසිසෙත් මැළි නොවෙමි. ඔබලාට මගේ උත්තමාචාරය"
 
(නීතිඥ අථිල අතාවුද සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සටහනකි.)