Language Switcher

V2025

ශ්‍රිලනිප තීන්දුව නාමයෝජනා ලබාදීමෙන් පසුව : විශේෂ මාධ්‍ය හමුවත් කල්දමයි !

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනුලබන තීන්දුව නාමයෝජනාවලින් පසුව ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි අද (06) උදැසන වාර්තාවීමත් සමග විපක්ෂ නායකවරයා බලවත්සේ කෝපයට පත්ව සිටින බව 'පොහොට්ටු' පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) රාත්‍රී තීරණය කර තිබු අතර, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා තිබිණ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක  රැස්වීම අද (05) පස්වරුවේ ආරම්භවූ අතර එය නිමාවට පත්වුයේ රාත්‍රී 10.30ට පමණය.

අද දිනයේ තමන්ට වාසිදායක තීන්දුවක් ප්‍රකාශයට පත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් යුතුව අද (06) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මාධ්‍ය හමුව 'දෙරණ' හා 'හිරු' නාලිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට ද ගෝඨාබය රාජපක්ෂගේ සන්නිවේදන ඒකකය කටයුතු යොදා තිබිණ.

මෙම මාධ්‍ය හමුව පවත්වෙන්නේදැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී පැවසුයේ, එම මාධ්‍ය හමුව කල්දමා ඇති බවයි.

ගෝඨාබය රාජපක්ෂයේ නාමයෝජනා සම්බන්ධයෙන් හෙට දිනයේ මතුවිය හැකි විරෝධතා ද සැලකිල්ලට ගෙන ශ්‍රීලනිපයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම වඩාත් කලොචිත්බව ජනාධිපති උපදේශකයින්ගේ මතය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති හා ගෝඨාබය හමුවෙන් පසු ඩලස් කියපු කතාව !

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පෙර ජනාධිපතිවරයා හා ගෝඨාබය රාජපක්ෂ අතර ඊයේ (05) පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගත් බවත්, ඒ අනුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සමග හා පොහොට්ටු පක්ෂය සමග වෙන වෙනම අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයකු වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා තිබිණ.

එම සාකච්ජාවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම, ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වී තිබු අතර ඔක්තෝම්බර් මස 09දා අදාල ගිවිසුම් අත්සන් කරන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා  මාධ්‍ය වෙත පවසා තිබිණ.

 කෙසේවුවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, එම ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ ගෝඨාබයගේ නාමයෝජනා සම්බන්ධයෙන් මතුවන විරෝධතා ද සැලකිල්ලට ගැනීමෙන් පසුව බවයි.