මෛත්‍රී ඉවත්කරන කුමන්ත්‍රණයක් : මහ මොළය බැසිල් !

මෛත්‍රී ඉවත්කරන කුමන්ත්‍රණයක් : මහ මොළය බැසිල් !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් දියත්ව ඇති මෙම කුමන්ත්‍රණය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ බලය අල්ලාදීමේ කොන්ත්‍රාත්තුව   ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල වෙත පවරා ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට රාජපක්ෂ පවුල තීන්දු කලේ   2015 ජනාධිපතිවරණය පරාජයට පත්වූ අවස්ථාවේ සිටයි. එම කටයුත්ත අසාර්ථක වූ පසුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වෙන්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරනු ලැබිණ.
බැසිල්ගේ යෝජනාව ජනාධිපති ප්‍රතික්ෂේප කළාද ?
 මේ මොහොතේ බැසිල් රාජපක්ෂ සිය පවුලේ බල අවශ්‍යතාව මත යලිත් එම කුමන්ත්‍රණය යළිත් සක්‍රීය කර ඇති අතර  ඊට ආසන්න හේතුව ලෙස වාර්තා වන්නේ අද (08) උදෑසන බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡාව තීරණයක් නොමැතිව අවසන්වීමයි.
වාර්තා වන ආකාරයට  බැසිල් රාජපක්ෂ අද උදෑසන ජනාධිපතිවරයා හමුවී යෝජනා කර ඇත්තේ  හෙට (09) පැවැත්වෙන පොදුජන පෙරමුණේ මංගල රැලියට සහභාගී වන ලෙසත් දෙපාර්ශවයේ සන්ධාන ගිවිසුම එහිදී අත්සන් තැබීමට කටයුතු යොදන ලෙසත්.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ  තමන්ට පෞද්ගලිකව අනුරාධපුර රැලියේ වේදිකාවට ගොඩවීමට  නොහැකි බවත් ගිවිසුම අත්සන් කිරීමේ තීරණය හෙට දිනය ඇතුලත දැන්විය හැකි බවත්ය. එසේම ඊයේ රැස්වූ අවස්ථාවේත්  පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සන්ධානගතවීම පිළිබඳ තීරණයක් ගැනීමට නොහැකිවූ බවත් එබැවින් මාධ්‍ය කාරක සභාවේ තීදුවක් නොමැතිව තමන් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
වේදිකාවට නගින මන්ත්‍රීවරයෙකුට කෝටි දහයක අල්ලසක් ! 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත්  දෙකඩකර හෝ හෙට දිනයේ සන්ධාන ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීමට කටයුතු සූදානම් කරන ලෙස එස්.බී. දිසානායකට දන්වන්න  බැසිල් රාජපක්ෂ ක්‍රියාකර ඇත්තේ ඒ අනුව වන අතර  පසුව  ක්‍රියාත්මකවී ඇති එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් හෙට දිනයේ පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවීමට සූදානම් නම් රුපියල් කෝටි දහයක සංතෝසමක් ලබාදීමට සූදානම් බව දන්වා ඇති බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි.
දුමින්දට සහ වීරකුමාරට රාජපක්ෂවරුන්ගෙන් දැඩි බලපෑමක් !
එසේම හෙට පැවැත්වෙන පොදුජන පෙරමුණ මංගල රැලියේ වේදිකාවට ගොඩවෙන ලෙස ඉල්ලා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙත  වෙත දැඩි බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි. 
අද දිනය පුරා අවස්ථා ගණනකදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ මෙසේ බලපෑම් කර ඇති අතර ඇතැම් පිරිස් එම නිවෙස් වල නතරකර ගොස් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න