වැලිකඩ සමූහ ඝාතන නඩුව : 14 සිට විභාගයට !

වැලිකඩ සමූහ ඝාතන නඩුව : 14 සිට විභාගයට !

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.

ලබන 14 වැනිදායින් පසු බදාදා සහ සිකුරාදා දිනවල මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන  ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා , අගවිනිසුරු ජයන්ත ජයසුරියගෙන් කල ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  පත් කරන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපති විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් කේෂ්ත‍්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකොන්, රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස සමඟ නීතීඥ සේනක පෙරේරා පෙනී සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන, නීතීඥ සෞම්‍ය මුතුකුඩ සමඟ ජනාධිපති නීතීඥ නලීන්ද ඉන්දතිස්ස පෙනී සිටියේය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජගත් අබේනායක, නයනා දිසානායක, ඉරෝමී ජයරත්න, කෞෂල්‍යා නානායක්කාර, ඉමාෂා සේනාධීර, යසස් ඒකනායක සහ ඉෂාන් හාම්පලගේ සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න