වසර 30ක් දැකපු සිහිනයක් සැබෑ වෙයි : යාපනයට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් !

වසර 30ක් දැකපු සිහිනයක් සැබෑ වෙයි : යාපනයට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් !
වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (17) පෙරවරුවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවැති මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

“යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීම පිළිබඳව වසර 20 – 30 ක් පමණ සාකච්ඡා කළා. එම සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමාවී තිබූ බව කිව යුතුයි. නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සාකච්ඡා කිරීමට අපට හැකි වුණා.

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු, මැයි මාසයේ දී මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ රටේ පැවැති තත්ත්වය සමග මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි දැයි  ඇතැම් අය ප්‍රශ්න කළා. කෙසේ හෝ මෙම කටයුත්ත සිදු කිරීමට අප තීරණය කළා. ඒ අනුව මාස 6 ක් ගත වීමට පෙර ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීමට අපට හැකි වුණා.

අද අප විවෘත කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පළමු අදියර පමණයි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළ පරිදි තවත් අදියර කිහිපයක් ආරම්භ කිරීමට තිබෙනවා. මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වන බව කිව යුතුයි.

මෙම ගුවන් තොටුපොළ සහ එහි ගොඩනැගිලි ඉදිකිරීමට වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් වැය කළේ නැහැ. මාස කිහිපයක් ඇතුළත මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අපට හැකි වුණා. ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ නැවත උපයා ගත හැකියි.”

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, ඊ. සරවනභවන්, අංගජන් රාමනාදන්, කේ.කේ. මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, යාපනය නගරාධිපති ඉමානුවෙල් ආර්නෝල්ඩ්, උතුරු පළාත් සභා හිටපු සභාපති ජී.වී.කේ. සිවඥානම්, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥාණසෝති,  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් දෙනායන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න , රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.{gallery}Jaffna International Airport{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න