Language Switcher

V2025

මිලිටරිවාදී  ගෝඨාභය රාජපක්ෂ කඳවුර පාරාජය නොකළොත් වෙන දේ  : පුරවැසි හඬ පෙන්වයි !

ඒකාධිපතිවාදී සහ මිලිටරිවාදී නැඹුරුවකින් යුතු ගෝඨාභය රාජපක්ෂ කඳවුර පාරාජය නො කරන්නේ නම් අනාගතයේ දී ප‍්‍රධාන වශයෙන් ම අනතුරට ලක්විය හැක්කේ වම නියෝජනය කරන, යහපාලනයට ලැදි සහ නව ලිබරල් ඒකාධිපතිවාදී පාලනයකට එරෙහි බලවේගය බව පුරවැසි හඬ සංවිධානය පෙන්වා දෙයි.

ආඥාදායක පාලනයක මතුවීම තුළ පවතින අතිශය අන්තරාදායක බව හා භයානකකම පෙන්වා දෙමින් "ජනාධිපතිවරණය ද? මහා මැතිවරණය ද? - ජනබලවේගය හා විකල්ප වාමාංශික පක්ෂ ගෝඨාභය පරාජය කිරීමේ පෙරමුණට පැමිණිය යුතුය" යන ශීර්ෂයෙන් යුතුව ඉදිරිපත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධව පුරවැසි හඬ සංවිධානය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහි බලවේගය කොටස් වශයෙන් බෙදී පවතින නමුත් එක් වී සාමූහික ව වැඩ කළහොත් රාජපක්ෂ කඳවුරේ ආඥාදායකත්වය බලයට ඒම වැලැක්වීමේ ශක්තිය එම කණ්ඩායම සතු බව ආසන්න අතීතයේ දී ම අවස්ථා රැසක දී සනාථ කොට ඇත. තවදුරටත් අපි කෙටියෙන් පහත දක්වමු.   

එළඹෙන ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ඉතිහාසයේ අතිශය තීරණාත්මක එකක් වන බව නැවත පැහැදිළි කළ යුතු නැත. අපගේ නිරීක්ෂණයට අනුව, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතය අතිශය භයානක වාරණයන්ට හා සීමා කිරීම්වලට ලක්කෙරෙන අවධියකට එළඹෙනවා ද? නැතිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කරමින් මිනිස් නිදහස සදහා වූ කි‍්‍රයාමාර්ග තවදුරටත් ක‍්‍රියාත්මක කරගෙන යනවා ද? යන තීරණය මෙම ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත ය. 

කොතරම් දුර්වලතා තිබුණ ද සජිත් පේ‍්‍රමදාස නියෝජනය කරනුයේ් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර යි. එම කඳවුරේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනම කතා කළයුතු මාතෘකාවක් බව අපගේ මතය යි. නමුත් ආඥාදායක රාජපක්ෂ කඳවුර ඡන්ද බලයෙන් පරාජය කිරීමේ ඉහළ ම හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ කේන්ද්‍රකොටගත් කඳවුරට බව සක් සුදක් සේ පැහැදිලි ය. අනෙක් පසින් සජිත්ගේ කඳවුරට පිටින් වැඩෙමින් පවතින තෙ වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී කඳවුරක් ද පවතී. ඒ ජාතික ජනබලවේගය යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ආරක්ෂා කරන පිරිසක් ලෙස ඔවුන් ද විශාල අවධානයක් දැනට දිනා ගෙන ඇත. දුෂණයට සහ ජාතිවාදයට එරෙහි මැද පංතික ජනතාවගෙන් යම් ප‍්‍රතිශතයක් ඒ බලවේගය වටා එක් විය හැක්කේ සාම්ප‍්‍රධායික දේශපාලන කඳවුරු දෙක ම එපා වීම හේතුවෙනි. අනෙක් අතට තවත් බොහෝ නව ව්‍යාපාර ගණනාවක් ම මෙම ජනාධිපතිවරණයට තරග  කරන අතර ඒ අතුරින් ප‍්‍රමුඛතම කණ්ඩායම් ආමන්ත‍්‍රණය කරමින් සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ, ජාතිවාදයට හා පවුල්වාදයට එරෙහි ජන කණ්ඩායම්වලට යි.

කෙසේමුත්, සමස්ථයක් වශයෙන්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි බලවේගය කොටස් වශයෙන් බෙදී පවතින නමුත් එක් වී සාමූහික ව වැඩ කළහොත් රාජපක්ෂ කඳවුරේ ආඥාදායකත්වය බලයට ඒම වැලැක්වීමේ ශක්තිය එම කණ්ඩායම සතු බව ආසන්න අතීතයේ දී ම අවස්ථා රැසක දී සනාථ කොට ඇත. ඒකාධිපතිවාදී සහ මිලිටරිවාදී නැඹුරුවකින් යුතු ගෝඨාභය රාජපක්ෂ කඳවුර පාරාජය නො කරන්නේ නම් අනාගතයේ දී ප‍්‍රධාන වශයෙන් ම අනතුරට ලක්විය හැක්කේ වම නියෝජනය කරන, යහපාලනයට ලැදි සහ නව ලිබරල් ඒකාධිපතිවාදී පාලනයකට එරෙහි බලවේගය යි. ආඥාදායක පාලනයක මතුවීම තුළ පවතින අතිශය අන්තරාදායක බව හා භයානකකම තවදුරටත් අපි කෙටියෙන් පහත දක්වමු. 

ඒකාධිපති රාජපක්ෂ  කඳවුරට නැවත බලය ලැබුණොත් !

  • මෙරට පවුල් පාලනය නැවතත් රජ කරන යුගයක් බිහිවනු ඇත. ඒ තුළ රාජ්‍යයේ සමස්ථ දේශපාලන හා ආර්ථික බලය පාලනය කිරීම මගින් දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කරගෙන සමස්ථ ජාතික ධනය කොල්ලකන යුගයක් නැවත නිර්මාණය වනු ඇත.
    - සියළු යහපාලන දේශපාලන ප‍්‍රතිසංස්කරණ ආපසු හරවා දහ අටවන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව්‍යවස්ථාවක් බලාත්මක කරනු නියත ය. 
    - නීතියේ ආධිපත්‍ය වෙනුවට අවනීතිය සහ ආඥාදායකත්වය රජ කරනු ඇත.
    - ඇමරිකාවට ගැති වූ විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවීම නිසා ඇමරිකානු යුධ හමුදාවට පහසුකම් සපයන හා එම යුධ හමුදාව අවි දරමින් මෙරට තුළ ක‍්‍රියාත්මක වීම හරහා රටේ ස්වාධිපත්‍ය අහෝසි වන තත්වයක් නිර්මාණය වනු ඇත. 
    - ආඥාදායක පාලනයට, ආර්ථික ඒකාධිකාරිවාදයට එරෙහි ව ඉදිරියට එන සමස්ථ ශිෂ්‍ය, කම්කරු හා ප‍්‍රගතිශීලී බලවේගය භයානක ලෙස මර්දනය කරනු ඇත. 
    - වාමාංශික පක්ෂ සියල්ල අභූත චෝදනා නඟා මර්දනයට හා තහනමට ලක්කරනු ඇත.
    - විශ්වවිද්‍යාල තුළ පවතින නිදහස හා ශාස්ත‍්‍රීය සංවාදය මර්දනය කරනු ඇත. 
    - මාධ්‍ය ආයතන සියල්ල ආණ්ඩුවේ මතවාදයට යටත්කොට ජනමාධ්‍යකරුවන් වහලූන් බවට පත්කරනු ඇත.
    - සියළු බුද්ධිමතුන්, නිදහස් මතධාරීන් මර්දනය කරනු ලැබෙන අතර අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සියල්ලක් ම දැඩි සෝදිසි කිරීමකට යටත් කොට පුද්ගල නිදහස අහිමි කරනු ඇත.
    - වැටුප් ඉල්ලා කරන සියලූ වෘත්තීය සමිති සටන් තහනම් කොට කම්කරු නායකයන් මර්දනය කරනු ඇත. 
    - ප‍්‍රචණ්ඩත්වයෙන් දියත් කරන සංවර්ධනය හරහා පරිසරය විනාශ කිරීම, පෞද්ගලීකරණය, රාජ්‍යසම්පත් විදේශවලට විකිණීම ඉහළ යනු ඇත.
    - සමස්ත රාජ්‍යය යන්ත‍්‍රය ම හමුදාකරණය කොට සිවිල් පාලනය ක‍්‍රමයෙන් අහෝසි කරනු ඇත.
    - ආගමික උන්මත්තක භාවය සහ ජාතිවාදය තුළින් සියළු සුළුජාතීන් මර්දනය කර සමස්ථ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නැවතත් අපකීර්තියට පත්කරනු ඇත.

ඉහත දක්වන ලද සියළු විනාශයන් රාජපක්ෂ පාලනයක දී ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු වියහැකි තත්වයන් වේ. එම තත්වයන් ඇතිවීම වැලක්වීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර එක් වී සටන්  කළ යුතුබව පෙනුණත් ඒ සඳහා මේ මොහොතේ එක්සත් ජාතික පෙරමුණ, ජාතික ජනබලවේගය හා අනෙකුත් ප‍්‍රගතිශීලී බලවේග අතර සාකච්ඡුාවක් නොමැති බව පෙනීයයි. 

අප යෝජනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැදි හා ඒකාධිපතිවාදයට එරෙහි සියලූ බලවේග එකතු වී පළමුව රාජපක්ෂ කඳවුර පරාජය කළයුතු බවයි. අනෙක් අතට ජනධිපතිවරණය තුළ ලබන පොදු ජයග‍්‍රහණය තුළින් මහා මැතිවරණයේ දී ජාතික ජනබලයට විශාල ජයග‍්‍රහණයක් සඳහා අවශ්‍ය පදනම හා අවකාශය නිතැතින් ම ලබාගත හැකි ය. ජාතික ජනබලවේගය තුළ සංවිධානය වී සිටින ඓන්ද්‍රීය නොවන බුද්ධිමතුන්ට මේ අවදානම සංඣානනය නොවුන ද දේශපාලන මහපොළොව පිළිබ`ද අවබෝධයක් ඇති ජ.වි.පෙ කි‍්‍රයාධරයන් මේ පිළිබ`ද සවිඥානික වනු ඇත. දැනට නිර්මාණය වෙමින් පවතිණ තිවුණු ධ‍්‍රැවීකරණය තුළ තෙවැනි බලවේගයක ඉරණම සුභවාදී ස්වරූපයක් නොගන්නා බව නිරීක්ෂණය කළ හැකි ය. දෙවැනි මනාපය ලකුණු කිරීමට ඡුන්දදායකයා යොමු කිරීම වැනි සංකීර්ණ ක‍්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට තරම් දියුණු මැතිවරණ සාක්ෂරතාවක් ද ලංකාව තුළ නැත. 

අපේක්ෂකයන් ප‍්‍රමාණය වැඩිවීම චන්ද පත‍්‍රිකාවේ ව්‍යාකූල භාවයක් නිර්මාණය කරන අතර එම තත්වය දෙවැනි නාපය පිළිබ`ද සිහිනය බො`ද කරනු ඇත. මේ ධ‍්‍රැවීකරණය තුළ ජාතික ජන බලවේගයට සිය සත්‍ය ශක්තිය පවා නිවැරදි ව පෙන්වීමේ හැකියාව අහිමි වනු ඇත. මේ තත්වය තුළ යම්හෙයකින් එම ජන බලවේගය ජනාධිපතිවරණයේ දී ලබන ප‍්‍රගතිය අවම නම් එය ද නිසැක ව ම මහා මැතිවරණයක දී ද විශාල පසුබැසීමකට හේතුවනු ඇත. 

එබැවින් ඉතාමත් ප‍්‍රගතිශීලී බලවේගයක් වන ජාතික ජනබලවේගයත් අනෙකුත් විකල්ප බලවේගත් ජනාධිපතිවරණයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රබලයා වන එක්සත්  ජාතික පෙරමුණ ජයග‍්‍රහණය කරවීමට උර දී ආඥාදායක බලය පරදවන්නේ නම් එයින් ඔවුන්ට දීර්ඝකාලීන ව විශාල ජයග‍්‍රහණ කරා යාමට අවශ්‍යය තත්වයක් නිර්මාණය වනු නිසැක ය. මෙම යථාර්ථය දෙස ජනබලවේගය හා අනෙකුත් විකල්ප කණ්ඩායම් සාවධාන වනු ඇතිබවට අප තුළ බලවත් විශ්වාසයක් ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනක`දවුරට ජයවේවා! ආඥදායක කඳවුර භංග වේවා!

මෙයට විශ්වාසී ,

සම කැඳවුම්කරුවන්