Language Switcher

V2025

මැකෝ ඔලුවටම තියාගත් ‌‌පොහොට්ටු දැන්වීම !

ජන්ද මංකොල්ලයට පැමිණියහොත් දණහිසින් පහළට නොව හිසටම වෙඩි තියන්න කියා පසුගිය 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ ප්‍රකාශ නිකුත් කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙවර ජනාධිපතිවරණය හමුවේ කරන ප්‍රකාශ බැලු විට ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම ඔහුගේ හිසට වෙඩි තබාගෙනද යන සැකය මතුවන බව මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ ප්‍රශ්න කරයි.
 
ඔහු මේ ප්‍රශ්න කිරීම සිදුකරන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් නිකුත්කර පළකළ යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වාගේ නිල ඇඳුමින් සිටින  රුව සහිත  ජායාරූපයක් සමග ඔහුගේ ප්‍රකාශයක් පළකල දැන්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති කටයුතු කළ ලිහිල් ප්‍රතිපත්තිය විවේචනය කරමිනි.
 
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වෙත ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කරන අතර එම ලිපිය පහත දැක්වෙයි.
 
 කණකොක් සුද පෙනෙන්නේ ඉගිලුනු විටදී කිව්වලු. ඒ වගේම කෙනකුගේ ස්ථාවරය පැහැදිලි වෙන්නෙත් ඔහු හෝ ඇය ගන්නා තීන්දු තීරණ හා කට ඇරියාම තමයි. මාළුවා නහින්නේ කට නිසා කියල කිව්වත් මහින්ද දේශප්‍රිය අපේ ඡන්ද කොමසාරිස් උන්නැහේ ප්‍රසිද්ධ වුනේ කට නිසා. 2015 ඡන්ද වෙලාවේ ඔහු කිව්වේ ඡන්ද මංකොල්ලයකට කවුරු හරි ආවොත් දණෙන් පහළ නෙමේ ඔළුවටම තියල දාන්න කියලා. එහෙම කියපු ඡන්ද කොමසාරිස් පසුගිය දිනවල කරපු ප්‍රකාශ දෙකක් ගැන විපරම් කරළා බැලුවම එයා තමන්ම ඔළුවටම තියාගත්තද කියල හිතෙනවා.
එක ප්‍රකාශයක් තමයි හමුදාපතිගේ රුව සහිත මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් පිලිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසාන නිගමනය. අනෙක තමයි යුද්ධයෙන් අත්වූ ජයග්‍රහණයක් ගැන එලිබස්සපු මතය.

නීති විරෝධී දැන්වීම බාර දුන්නේ කවුද?

හමුදාපතිගේ රුව සහිත මැතිවරණ ප්‍රචාරක දැන්වීමට තමාගේ කිසිම සම්බන්ධයක් නැහැ, ඒක පැරණි කතාවක් කියල තමයි හමුදාපතිගේ පැත්තෙන් කිව්වේ. දැන්වීම පළකරපු පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්ටුවෙන් කියලා තියෙන්නේ මේ දැන්වීම පිළිබඳ සිය පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ ප්‍රකාශ දෙකෙන් පස්සේ ප්‍රචාරක දැන්වීම පිලිබඳ ප්‍රශ්නය තව දුරටත් ගෙනයාමේ අවශ්‍යතාවයක් නැහැ කියලා ෆයිල් එක වහල දාපු එක තමයි මැතිවරණ කොමසාරිස් කළේ. අඩුම තරමින් මේ නීති විරෝධී දැන්වීම බාර දුන්නේ කවුද කියලවත්, මැතිවරණ නීති උල්ලංඝනය කරන දැන්වීම් පල කළ බලවතා කවුද කියලා පත්තරයෙන් කිසිදු ප්‍රශ්න කිරීමක්වත් එතැනින් එහාට සිද්ධ වුනේ නැහැ. එහෙම වුනත් මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති දුන් ප්‍රතිඥාව ගැන දේශපාලන පක්ෂ හෝ මාධ්‍ය විසින් කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කරපු බවක් පේන්නත් නෑ.

 මැකෝගෙ තීන්දුවත් ‌ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ..!

"මම දන්නේ නෑ," "මට මතක නෑ," "මම නියෝග දුන්නේ නෑ," "නයා කාපු නිසා අල්ලස් කොමිසමට එන්න බැරිවුනා." මේ වගේ කතා පොහොට්ටු පක්ෂයට හරි සිම්පල්. මල්වානේ සහ මාතර හදපු මාලිගා තියෙනවා. ඒවා හදපු කොන්ත්‍රාත් කරුවොත් ඉන්නවා, ඒත් අයිතිකාරයෝ නෑ. යෝෂිත රාජපක්ෂට කෝටි ගණනක වටිනා ඉඩමක් දෙහිවල තිබුනා. මේ මුදල් උපයා ගත්තේ කොහොමද කියන චෝදනාව පොලිසිය ප්‍රශ්න කළාම යෝෂිත කිව්වේ එයාගේ ඩේසි ආච්චි දුන්නා කියලා. ඩේසි ආච්චි පොලිසියට කිව්වේ නන්නාඳුන පුද්ගලයෙක් ඇවිත් කෝටි ගණනක් වටිනා මැණික් මල්ලක් ගේ දොරකඩ දාල ගිහිල්ලා තිබුනා. ඒක විකුණලා තමයි ඉඩම ගත්තේ කියලා. ඊට පස්සේ ඒ චෝදනාවලට සිද්ද වුනේ මොකක්ද කියල දෙයියන්ට වඩා දන්නේ ඒ දවස්වල හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමයි. මොකද රාජපක්ෂ සමාගම නඩු වලින් බේරා ගත්තේ තමන් යැයි විජේදාස රාජපක්ෂ දැන් උජාරුවෙන් කියමින් යන්නේ. එහෙම බැලුවාම මැතිවරණ කොමසාරිස් ගේ මේ තීන්දුව මල්වානේ සහ මාතර මාලිගාත්, ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ තීන්දුවත් වගේම තමයි. ඉතිං මැතිවරණ කොමසාරිස් විශ්‍රාම ගිය දවසක හරි මැතිවරණ ප්‍රචාරක දැන්වීමේ වැඩේ ලිස්සලා ඇරියේ ඇයි කියලා දැන ගන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 “රටටම අයිති” යුද ජයග්‍රහණය..!

අනෙක් කාරනාව තමයි "යුද ජයග්‍රහණය එක පක්ෂයකට අයිති එකක් නොවේ, එය මුළු රටේම ජයග්‍රහණයක්" කියලා මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් කියපු කතාව. මේ කතාව බැලූ බැල්මට පෙනෙන්නේ මාර ලිබරල්, හරි බැලන්ස් කතාවක් කියලා. හැබැයි හොඳට අධ්‍යයනය කරළා බැලුවොත් මේක කොලේ වහල ගහපු ගැහිල්ලක් කියලා තමයි ඔප්පු වෙන්නේ. මොකද මැකො තොත්ත බබෙක් නෙමේ කියලා අපි දන්න නිසා.

සී ඒ චන්ද්‍රප්‍රේම "ගෝඨාස් වෝර්" නමින් පොතක් එහෙමත් ලියලා යුද ජයග්‍රණයේ අයිතිය රාජපක්ෂ සමාගමට පේටන්ට් බලපත්‍රයයකින් පවරලා දීලා තියෙන්නේ. රාජපක්ෂවාදී මාධ්‍යයත් තොරතෝන්චියක් නැතිව උදේ හවා ඒ මතය ජනගත කරළා තියෙන්නේ. එහෙම තියෙද්දී යුද ජයග්‍රහනයේ අයිතිය කියන්න ගිහින් තමයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට හිරේ ලගින්නත් වුනේ. යුදවාදී, ජාතිවාදීන්ගේ ඡන්දය කඩා ගන්න තියෙන මේ එකම තුරුම්පුව අරගෙන තමයි සහෝදර සමාගමෙන් ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට රඟන්නේ. ඒ වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නෙත් “තිස් වසරක කුරිරු යුද්ධය හමාර කළේ ගෝඨාභය, ඒනිසා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, සහතික කරන්න පුලුවන් එයාට විතරයි. ඒ වෙනුවෙන් ඔහු දිනවන්න” කියලා. එවැනි පසුබිමක යුද්ධය රටේම ජයග්‍රහණයක් කියලා මැතිවරණ කොමසාරිස් කරන්නා වූ ප්‍රකාශය පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය ප්‍රවර්ධනය කිරීමක් නොවෙයිද? ඒක එහෙම නොවෙයි නම් ඒ ගැන පිළිතුරක් දිය යුත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියමයි.

යුද අපරාධ කාටද?

අනෙක් අතට මේ යුද්ධයට විරුද්ධ, එය ජයග්‍රහණයක් නෙමේ මහා විනාශයක් කරා අපේ රට අරගෙන ගියේ කියන මතයේ ඉන්නා ලක්ෂ ගණනක් වූ ජනතාවක් දකුණේ ඉන්නවා. මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශය අනුව ඒ ජනතාව මේ රටට අයිති නැද්ද?. නැතිනම් ඒ මතයට මේ රටේ ඉඩක් නැද්ද? ඔවුන් දේශ ද්‍රෝහින්ද? මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒකටත් පිළිතුරක් දිය යුතුයි.

උතුරේ දෙමළ අම්මලා දවස් දාහකට අධික කාලයක් අඛන්ඩ උපවාසයක් කළා. ඇයි?. යුද්ධය අවසානයේදී හමුදාවට බාර දුන්, බාර වුනු තමන් ගේ ඥාතීන්ට මොකද වුනේ කියලා තොරතුරක් ඉල්ලලා. එහෙම කවුරුත් රඳවාගෙන නැහැ කියලා තමයි. හමුදාවත්, ආණ්ඩුවත් කිව්වේ. යුද්ධය තීන්දු කරපු පොහොට්ටු අපේක්ෂක ගෝඨාබයත් පසුගිය මාධ්‍ය හමුවකදී කිව්වෙත් කිසිදු කෙනෙක් අතුරුදහන්වීමක් කරළා නැහැ කියලා. දැන් අපට මැතිවරණ කොමසාරිස්වරයා කියන්නෙත් ඒ ප්‍රකාශ පිළිගන්න කියලද?. මොකද යුද්ධය රටටම අයිති ජයග්‍රහණයක් නම් ඒකෙන් මේ රටේම ජිවත්වන එක ජනකොටසකට විතරක් මේවගේ අපරාධයක්, අයුක්තියක් වෙන්න බැහැනේ. කවුරුත් ජයග්‍රහණයේ කොටස් කරුවන් වෙන්න ඕන. නැතිනම් උතුරු නැගෙනහිර වෙනම රටක් කියලද මැතිවරණ කොමසාරිස්වරයා අපට මේ කියන්නේ?.

උතුරේ යුද්ධය නිසා වැන්දඹු භාවයට පත්වුනු අසූදාහකට වඩා වැඩි පිරිසක් ඉන්නවා. දේශපාලන නියෝග මත සිදුකළා කියන යුද අපරාද චෝදනා හමුදාවට තියෙනවා. යුද්ධයේදී අල්ලාගත් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩ කඩම්වල තවම ආණ්ඩුවේ හමුදාව රැඳී ඉන්නවා. කිසිදු චෝදනාවකින් තොරව අවුරුදු දහයකට වැඩි කාලයක් දෙමළ තරුණ තරුණියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිර ගෙවල ගාල් කරගෙන ඉන්නවා. එහෙම තියෙද්දිත් රාජ්‍ය නිලධාරියෙක් වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියටත් දැන් මේ ජන ඝාතක යුද්ධය මුළු රටම බාරගත යුතු යුද ජයග්‍රහණයක් වෙලා.

“යුද ජයග්‍රහණය” රටටම අයිති එකක් කිව්වාම ඒ යුද්ධයේ වෙච්චි අපරාධ බාර ගන්න කෙනෙක් ශ්‍රී ලංකාවේ නැතිව යනවා. නමුත් තමන්ට ජාතියක් හැටියට අපරාධයක් කළ බවට දෙමළ ජනතාව අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දෙනවා. ඒ පිළිබඳව මධ්‍යස්ථ, අපක්ෂපාතී, ස්වාධීන විය යුතු මැකෝ, මේක "මුළු රටම බාරගත යුතු යුද ජයග්‍රහණයක්" යි කීමෙන් ලෝකයාට රටට දෙන පණිවිඩය මොකක්ද?. ඒක තමයි යුද අපරාධ විභාග කිරීම අවශ්‍ය නෑ කියන අපේක්ෂකයා හරි කියන එක. එහෙනම් මැකො කියන්න ඕන පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, වධහිංසා, අත් අඩංගුවේ මරා දැමීම්, රෝහල් සහ යුද මුක්ත කලාප වලට බෝම්බ ගැහීම් කළේ පිට දේසක්කාරයන්ද කියලා?

මැකෝ දේශපාලන මතවාදයක පාර්ශවකරුවෙක් වෙලා..!

එමනිසා ජනාධිපතිවරණයක් මුවවිට තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා කර තිබෙන මේ ප්‍රකාශයෙන් ඔහු එක් දේශපාලන මතවාදයක පාර්ශවකරුවෙක් වෙලා තියෙනවා. ඒ මතවාදයේ ඉන්නා පොහොට්ටු අපේක්ෂකයා අනෙක් අපේක්ෂකයන්ට වඩා ඉහළින් ඔසවලා තියෙනවා. මොකද යුද්ධය රටේම ජයග්‍රහණයක් නම් දිනවිය යුත්තේ රටටම ජයග්‍රහණය අරගෙන දුන් පුද්ගලයානේ. ඒක යුද අපරාධ චෝදනා එල්ලවන සේනාංකයකට අණ දුන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුනිෆෝම් ගහගෙන ඡන්ද දැන්වීම් වල පෙනී ඉන්නවට වඩා ලොකු වරදක් නෙවෙයිද, කොමසාරිස් තුමෝ?

යුද්ධය කියන්නේ සිය බලය තව දුරටත් රැක ගැනීම උදෙසා පාලකයන් ගන්නා වූ දේශපාලන උපක්‍රමයක්. ඒ දේශපාලන උපක්‍රමය සිය බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රටේ ජනතාව මත එක්තරා ජුන්ටාවක් විසින් බලෙන් පටවපු එකක් මිස ජනතා අනුමැතියෙන් ලබා ගත්ත තීන්දුවක් නෙමෙයි. 2015 දී ලක්ෂ හතරහමාරකින් ඒ ජුන්ටාව, ඒ තීන්දුව ජනතාව පැරද්දුවේ ඒ නිසයි.

වැටත් නියරත් ගොයම කන්න වුනොත්..!

එනිසා මැතිවරණ සමයේ සර්වබලධරයා වන්නා වූ මැතිවරණ කොමසාරිස් ගේ මේ හැසිරීම නම් ඒ තරම් සුබදායක තත්වයක් නෙමේ කියලයි මට නම් පෙනෙන්නේ. කුඹුරේ ආරක්ෂාවට තියෙන වැටත් නියරත් ගොයම කන්න වුනොත් කාට කියමුද ඒ අමාරුව කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. අනෙකුත් දේශපාලන පක්ෂ, ඡන්ද නිරීක්ෂන ආයතන, ඡන්දදායකයෝ මේවා ගැනත් විමසිලිමත් වෙන්න, ක්‍රියාත්මක වෙන්න ඕන. පොරොවෙන් කපන්න එන තත්වයට වැඩෙන්න කලින් නියපොත්තෙන් කඩලා දැම්මොත් තමයි හොඳ. එහෙම නොවුනොත් මෙහෙම ගිහිල්ලා සමහර විට ඡන්දය ප්‍රකාශ කරන දවසට මානසික ආතතිය නොහැදී ඉන්න බැරි කමකුත් නෑ. මතකනේ 2010 දී මෙයාගේ ලොක්කාට එහෙම වුනා. එදා ඉඳලා අද වෙනකම් ලොක්කාගේ ඇඩ්රසුත් නෑ.

කාල් මාක්ස් කියන පඬිවරයා මීට අවුරුදු සියයකටත් වැඩිය කාලෙකදී තමයි කිව්වේ "ලොව නොවෙනස් වන්නා වූ එකම ධර්මතාවය වෙනස්වීම පමණකි" යි කියලා. අදටත් ඒ ධර්මතාවය එහෙමම තමයි. ඒ නිසා මහින්ද දේශප්‍රිය, මහින්ද රාජපක්ෂ වුනොත් පොහොට්ටුව පිපිලා, අනෙක් සියලු ගස් වැල්, මල් අකාලයේ පරවෙලා යාවි.

MS Koththi-ඥානසිරි කොත්තිගොඩ-