Language Switcher

V2025

පුරවැසිකමවත් නැති ගෝඨාබය රටට වැඩක් කරයිද ?

මෙරට පුරවසිකමවත් නැති අයෙකු රටට වැඩක් කරයි කියා විශ්වාසයක් තැබිය නොහැකි බවත් එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී  තෝරාගත යුත්තේ දැක්මක්, හැකියාවක් තිබෙන, ජව සම්පන්න ,නීරෝගී පුද්ගලයෙක් වගේම මේ රටේ ජීවත්වන , මේ රටේ පුරවැසි භාවය තිබෙන අයෙකු බව සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි පවසයි.

දඹර අමිල හිමි මේ බව සඳහන් කෙළේ කොළඹ දී ඊයේ (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන්  මෙසේද පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ හැකියාව ඇත්තේ මෙරට පුරවැසියන්ටයි. වෙනත් රටක පුරවැසිභාවයක් සහිත අයකු ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ද මැතිවරණ පෙත්සමකින් එය පරාජය කිරීමේ හැකියාව පවතිනවා. එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජව සම්පන්න, වැඩකළ හැකි , කාර්ය ශූර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සිය වටිනා ඡන්දය භාවිත කිරීම සියළු දෙනාගේ වගකීමක්.

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී අපි තෝරාගත යුත්තේ දැක්මක්, හැකියාවක් තිබෙන, ජව සම්පන්න ,නීරෝගී පුද්ගලයෙක්. ඒ වගේම මේ රටේ ජීවත්වන , මේ රටේ පුරවැසි භාවය තිබෙන කෙනෙක් මෙවර ජනාධිපතිවරණයේදී තෝරාගත යුතුයි. මේ රටේ තරුණ පරපුර කියන්නේ රටට ආදරය කරන කොටසක්. ඔවුන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුත්තේ මේ රටේ තීන්දු තීරණ ගතහැකි නායකයකු වෙනුවෙනුයි. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන කවර හෝ පුද්ගලයකු වෙනුවෙන් රටේ පුරවැසි බව තිබිය යුතුයි.

අඩුම තරමේ පුරවැසි බවවත් නැතිව මේ මිනිස්සු රටට වැඩ කරන්නෙ කොහොමද?. ඒ වගේම මේ රටට පමණක් නොව ආසියානු කළාපයටම නායකත්වය දියහැකි නායකයෙක් අපි පත්කර ගතයුතුයි. වත්මන් ආණ්ඩුව යටතේ ජාතික සමඟිය, ආගමික සංහිඳියාව ගොඩනඟා තිබෙනවා. රටතුළ ගොඩනගා ඇති ආගමික සහජීවනය, ජාතික සංහිඳියාව ආරක්ෂා කළහැකි නායකයකු අපි පත්කර ගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ආකාරයට ජාතික සංහිඳියාව, ආගමික සහජීවනය ගොඩනැගිය හැකිද, ආරක්ෂා කළහැකිද යන ගැටලුව අපට තිබෙනවා.පසුගිය පාලන සමයේදී සියත රූපවාහිනි නාලිකාවට ගිනි තිබ්බා.සිරස නාලිකාවට ගිනි තිබ්බා.

ලංකා ඊ නිව්ස් වෙබ් එකට ගිනි තිබ්බා.ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. මාධ්‍යවේදීන් විශාල පිරිසක් විවිධ හිරහැරවලට ලක්වුණා. මේ දේවල් රටේ ජනතාවට අමතක නැහැ. තාජුඩින් ඝාතන සිදුවීම, සිරකරුවන් 27 ක් ඝාතනය මේ සියල්ලම ජනතාවට හොදින් මතකයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස වසර ගණනාවක් කටයුතු කළා. නමුත් මේ කිසිවක් ගැන සොයා බැලුවේ නැහැ. කිසිඳු විමර්ශනයක් සිදු කෙළේ නැහැ. මාධ්‍යවේදින් ප්‍රශ්නයක් ඇහුවම උඩ බිම බල බලා හැසිරෙනවා. විවිධ හතර බීරී උත්තර දෙනවා. මෙහෙමද කටයුතු කළ යුත්තේ.ඇත්තටම නිලධාරියෙක් ලෙසත් ඔහු අසාර්ථකයි. මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ හැකියාවක් ඔහුට නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා.

මොහුගේ හැසිරිම ඇනස්ලි ,බර්ටි, සැමුවෙල් යන අයගේ වගේ. මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් ඇහුවම අතීතය ගැන අහන්න එපා කියනවා. විමල් වීරවංශයි, උදය ගම්මන්පිලයි ලියල දෙන දේවල් ටිකක් ඇවිත් කියවනවා. ලියල දුන්න එක නැති වුනොත් කතා කරලත් ඉවරයි. දේශීය වෛද්‍ය රැස්වීමකට ගිහිල්ල කෘෂි කර්මාන්තය ගැන කතා කරනවා. කිසිම ගැලපීමක් නැහැ. මෙතුමාගේ හැසිරීම ඇත්තටම කුඩා දරුවෝ අසා ලිවීම ලියනව වගේ. වචන 10ක් 15 ක් ගලපගෙන කතා කරන්න එතුමාට හැකියාව නැහැ. කිසිම දැක්මක් නැති අයෙක් ලෙසයි මම ගෝඨාභය රාජපක්ෂ මහතාව දකින්නේ. ඒ වගේම එතුමාට විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. එහෙම තිබෙන කෙනෙක් තමයි මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ. මෙහේ විතරක් නෙවෙයි අමෙරිකාවෙත් නඩු තිබෙනවා. වැරදීමකින් හරි ජනාධිපති බවට එතුමා පත්වුණොත් අමෙරිකාවේ තිබෙන නඩුවලට යන්න වෙන්නෙත් රටේ සල්ලි වියදම් කරලයි.

සෞඛ්‍ය අතින්ද එතුමා පිරිහිලා ඉන්නේ. අපි රටට පත්කර ගත යුත්තේ ජව සම්පන්න, ශක්ති සම්පන්න, අභියෝග හමුවේ නොසැලි ඉදිරියට යන නායකයෙක්. සජිත් ප්‍රේමදාස කියන්නේ ජව සම්පන්න , රට ඉල්ලා සිටින නායකයායි. මිනිසකුගේ අතීතය ඉතා වැදගත්. සජිත් ප්‍රේමදාස මහතාගේ අතීතය නිසා තමයි එතුමාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීතය යහපත් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ මෙරට පුරවැසියෙක්. මෙරට පුරවැසියකු නොවන අයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද මැතිවරණ පෙත්සමක් මඟින් හෝ පරාජය කිරිමේ හැකියාව තිබෙනවා.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා-

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳවත් දේශපාලන වේදිකාව තුළ විවිධ මත පළකරනවා. මෙය අලුත් සිදුවීමක් නොවෙයි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය වේලාවෙත් දෙමළ ජාතික සන්ධානය මේ ආකාරයට යෝජනාවලියක් ඉදිරිපත් කලා. ඕනෑම කෙනකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පිළිගන්න නොගන්න එක අනෙක් පාර්ශ්වයේ වැඩක්. ඒ වගේම සිවිල් සංවිධාන එකමුතුව ලෙස 2015 වසරේදී ජනාධිපති අපේක්ෂක වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. එතුමා සමඟ ගිවිසුමක්ද අත්සන් කළා. මැතිවරණයක් වේලාවක යෝජනා ඉදිරිපත් කරන්නේ දෙමල ජාතික සන්ධානය පමණක් නොවෙයි. ඕනෑම කෙනෙක් ඒ ආකාරයට යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි වෘත්තිය සමිති ලෙස වෘත්තිය අරගලවල නිරත වෙද්දි අපිත් සියයට සියයක්ම වෘත්තිය අයිතින් ලබා දෙන ලෙස ඉල්ලනවා. නමුත් රජය ලබා දෙන්නේ ඔවුන්ට ලබාදිය හැකි පමණින්.

ඒ වගේම තමයි දෙමළ ජාතික සන්ධානය යෝජනාවලියක් ඉදිරිපත් කළත් එකඟ වන්නේ මොනවටද , එකඟ නොවන්නේ මොනවටද කියා ආණ්ඩුව තීරණය කරාවි. විවිධ පිරිස් දේශපාලන වේදිකාවල විවේචන එල්ල කරන්නේ දෙමල ජාතික සන්ධානය ඉදිරිපත් කළ සියලු යෝජනා වලට ආණ්ඩුව එකඟ වූ ආකාරයටයි. දෙමළ ජාතික සන්ධානය යෝජනා ඉදිරිපත් කළ පමණින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට චෝදනා එල්ල කිරීම අසාධාරණයි. ඇත්තටම ඒක හරිම අසාධාරණයි. අපි සියළු දෙනාම පිළිගත යුතුයි. දෙමළ ජනතාවටත් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්න, රැඳවුම් නිවාස වල සිටින අයගේ ප්‍රශ්න, පසුගිය කාලය තුළ උතුරට සංවර්ධනය ළඟා නොවීම, ඔවුන්ගේ ජීවන ගැටලු මේ ආදි ගැටලු රැසක් දෙමළ ජනතාවට තිබෙනවා.

ඒ වගේම වත්මන් ආණ්ඩුව යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයකට ලක්වූ බව විවිධ චෝදනා එල්ල කරනවා. ගතවූ වසර හතර හමාරක කාලය තුළ වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙනම ඒකක ස්ථාපිත කළා. පසුගිය ආණ්ඩු කාලයේදී පිලිකා රෝගින් හට ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කෙළේ අඩු මුදල් ප්‍රමාණයක්. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පිලිකා රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් සීමාවකින් තොරව මුදල් වෙන්කරනවා. ඒ වගේම ඔවුන්ගේ ජිවිත කාලය වෙනුවෙන්ම ප්‍රතිකාර සඳහා බෙහෙත් ලබා දෙනවා. ඒ වගේම වසර 49 ක් පුරා අඩුනොකළ ඹෟෂධ මිල අඩුකළා.

සේනක බිබිලේ මහතාටත් ක්‍රියාත්මක කරන්නට බැරිවූ ඖෂධ ප්‍රතිපත්තිය ඇති කළා. ඒ වගේම සමස්ථ රට වැසියා වෙනුවෙන් සෞඛ්‍ය කාඩ්පතක් නිකුත් කිරීමට ආණ්ඩුව තීරණය කළා. එය නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම කාඩ්පත සියළු පුරවැසියන් වෙනුවෙන් ඉදිරියේදී නිකුත් කරන අතර මේ සියලු දේවල් මේ මහපොළොවේ යථාර්ථයක් බවට පත්ව තිබෙන දේවල් මිස හීන නොවෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ තරම් සෞඛ්‍ය පහසුකම් පුළුල් කර තිබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ රෝහල් තුළ රුධිර කාන්දු කරන යන්ත්‍ර 223 යි තිබුණේ. නමුත් අදවන විට එම යන්ත්‍ර 500 ක් තිබෙනවා. රුධිර කාන්දු කරන යන්ත්‍ර 1000ක් ජර්මනියෙන් ආනයනය කිරීමටත් ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ වගේම මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ දක්ෂ කළමණාකරුවෙක් කියා වේදිකාවල කියනවා. මොන බොරුද?‍.ඔහු දක්ෂ කළමණාකරුවෙක් කියන කතාව පට්ටපල් බොරුවක්. ඔහු දක්ෂ පරිපාලකයෙක් කෙසේ වෙතත් හැසිරීමට තරම්වත් දැනුමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආයතන පහක් පාලනය කළා . ඒ ආයතන සියල්ලම කඩා වැටුණා.ගෝඨාභය රාජපක්ෂ ඒ අවුරුදු ගාණ තුළම තට්ටු නිවාස හැදුවේ පහයි. නමුත් පාඨලී චම්පික රණවක මහතා තට්ටු නිවාස පනහක් මේ කාලය තුළ හැදුවා. ගෝඨාභය කොළඹ ලස්සන කරන්න හැදුවේ තුවක්කු බලය යොදා ගනිමින්. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ එවැනි කිසිඳු ගැටලුවක් ඇති වූයේ නැහැ.