Language Switcher

V2025

උදයංග ලංකාවට රැගෙන ඒම ගැටලුවක් වෙලා !

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පෙරේදා (04දා) දින මොහුව අත්අඩංගුවට ගත් බව සඳහන් වුවත් ඊයේ (05දා) වන විටත් එරට පිහිටි ජාත්‍යන්තර පොලිසියේ ශාඛාවෙන් මෙරටට නිල දැනුම්දීමක් සිදු නොකර ඇතැයිද එම කොට්ඨාශයේ උසස් නිලධාරියකු පැවැසීය.

ජාත්‍යන්තර පොලිසියේ මෙරට කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත බවත් ඉන් අබුඩාබිහි පිහිටි එරට කාර්යාලයට මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නිල වශයෙන් දන්වන ලෙසට ලිඛිතව දැන්වුවත් ඊට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇතැයිද එම උසස් නිලධරයා සඳහන් කළේය.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කරන විමර්ශනයකට අදාළව අධිකරණය මඟහැර සිටින උදයංග වීරතුංග මහතාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

මහින්ද එරට බලධාරීන්ට කතා කරයි :

Udayananga Seen with Former President

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ වන විටත් ගනිමින් සිටින බවය.

එසේම ඔහුව රැගෙන ඒමට පොලිස් නිලධාරීන් සූදානමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටී.

උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය අංශ එක්ව සාකච්ඡා පවත්වයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩුබායිහි බලධාරීන්ට කතා කරමින් උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. එම සාකච්ඡා තුලින් සාර්ථක ප්‍රතිපල ලැබී ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු පැවසිය.

prathiba mahanama

''ශ්‍රී ලංකාවට භාර නොදී තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට එම බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා'' - ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අප කළ විමසීමකදී පැවැසුවේ යම් රටක පුරවැසියකු වෙනත් රටකට ගොස් වරදක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වුවහොත් එම පුද්ගලයා මෙරටට ගෙන්වා ගත යුත්තේ උදර්පණ නීතිය අනුව බවත් ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පණ ගිවිසුමක් අස්සන් කර නොමැති නිසා මෙම ගැටලුව මතු වී ඇති බවත්ය.

එම නිසා මෙවැනි අවස්ථාවකදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නම් දෙරටේ තානාපතිවරුන් හරහා සාකච්ඡා කළ යුතු බවත් ඒ හැරෙන්නට වෙනත් විසඳුමක් නොමැති බවත් මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.

යම් ආකාරයකින් උදයංග වීරතුංග මහතා තමාට එල්ල කර තිබෙන චෝදනාවලින් නිදහස් වුවහොත් යන කාරණයද ඩුබායි බලධාරීන්ගේ සැලකිල්ලට ලක් වන නිසා උදයංග වීරතුංග මහතා ක්ෂණිකව ශ්‍රී ලංකාවට භාර නොදී තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට එම බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.