Language Switcher

V2025

අභියාචනාධිකරණය පිළිගත්තේ ගෝඨාභයගේ ද්විත්ව පුරවසිකමයි !

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති ආකාරය ප්‍රශ්න කරමින් තමන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය වෙත ගිය අවස්ථාවේ එම පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය තීන්දුකර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම බව සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ සඳහන් කරයි.
 
ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කල අතර ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂගේ නීති උපදේශකයකු වන අලි සබ්‍රි සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.
 
එහිදී නීතිඥ අලි සබ්‍රි සඳහන් කර තිබුණේ "ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව අපේ අභියාචනාධිකරණය පිළිගෙන තිබෙනවා"  යනුවෙනි.
 
එහිදී වැඩිදුරටත් ඊට ප්‍රතිචාර දක්වමින් සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
 "ඒ මාධ්‍ය සාකච්ඡාව තියලා ප්‍රකාශ කරලා තිබුණා යි කියලා. ඔහු සඳහන් කළේ ඔක්තෝම්බර් මාසයේ මමත් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරත් ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේදී ලබාගත් ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නකරමින්. ඇත්තටම අපේ පෙත්සමේ නිමිත්ත වුණේ එදා ඔහු 2005 දි ලබාගත්තාය කියන ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූල සහ වලංගු එකක් නොවන බවයි. නමුත් ඒකෙදි ගරු අභියාචනාධිකරණය අපේ නඩුව විභාගයට ගත්තේ නැතුව ඉවත් කරා. ඒ ඉවත් කරමින් ගරු අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කරා, පසුව අපිට හේතු දැක්වීමක් කරපු ආකාරයට 2005 දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලබාගත්ත ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය වලංගුයි කියලා. මොකද ඊට දවස් දෙකකට කලින් ජනාධිපති පදවියට පත්ව සිටි මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයට අත්සන් කරලා. තිබුණ නිසා. එතකොට අලුතෙන් පත්වුණ ජනාධිපති වරයා වශයෙන් ඔහුට එවැනි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයට අත්සන් කරන්න පුළුවන් බව තමයි ගරු භියාචනාධිකරණය තීන්දු කරලා තිබුණේ. ඒකට ගරු අභියාචනාධිකරණය හේතු දැක්වීම් කරලා තිබුණා."
 
ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරනවා !
 
දැන් අපි ඇත්තටම ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ගරු අධිකරණය විසින් එදා තීන්දු කරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ලංකාවේ වලංගුයි කියන එක මිසක්  ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව නොවෙයි. අපි කවුරුත් දන්නවා ද්විත්ව පුරවැසිභාවය කියලා කියනකොටම ඒ වචනෙන් අදහස් වෙනවා ඊට කලින් තවත් පුරවැසිභාවයක් තිබුණා කියන එක.  එතකොට තමයි ද්විත්ව පුරවැසිභාවය කියන වචනය  පාවිච්චි කරන්න අපිට පුළුවන් වෙන්නේ. එතකොට ගරු අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගත්තාය කියන්නේ වලංගු කාරණයක් විදිහට, ඒකෙන් අදහස් වෙන්නේ ඊට කලින් ඔහුගේ තිබිච්ච ඇමෙරිකානු පුරවැසිභාවය පිළිගත්තා කියන එකයි. 
 
අධිකරණ විනිශ්චය විකෘති කරලා !
 
එතකොට ඇත්තවශයෙන්ම අලි සබ්රි මහතා කියන විදිහට අභියාචනාධිකරණයේ විනිශ්චයෙන් ඔප්පු කරලා තියෙන්නේ ඔහු ඇමෙරිකානුවෙන් නොවන බව නෙවෙයි, ඔහු ඇමෙරිකානුවෙක් වන බවයි. ඒක නිසයි ඔහුට ද්විත්ව පුරවැසිභාවයක් ගන්න පුළුවන් වුණේ. දැන් එතකොට අලි සබ්රි මහතා වගේ නීතිය පිළිබඳ විශාරද දැනුමක් තියෙන කෙනෙක් හොඳටම දැනගෙන අභියාචනාධිකරණයේ තීන්දුව මේකයි කියලා, ඔහු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට විකෘති කරලා අධිකරණ විනිශ්චයක් ජනතාවට ඉදිරිපත් කිරීම මම හිතන්නේ නීතිඥයෙක් විදිහට නොකළ යුතු අකටයුත්තක් කියලයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පස්සේ මේ අවුරුද්දේ අප්‍රෙල්  මාසයේදී ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරගත්තාය කියලා කියනවා. ඒ සඳහා වන ලියවිල්ලකුත් අලි සබ්රි මහතා ඊයේ ඉදිරිපත් කරලා තිබුණා ඒ පුවත්පත් සාකච්ඡාවෙදි. ඒක වුණත් අවස්ථා කිහිපයකදී සැක මතුකරලා තියෙනවා ඇත්තවශයෙන්ම ඒක වලංගුභාවය තියෙන  ලියවිල්ලක්ද කියලා. අපි දන්න විදිහට ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරියොත් කෙනෙක් ඒ අතහැරිය කෙනාගේ නම ඇතුළත් කරලා ලැයිස්තුවක් අවුරුද්දට හතර පාරක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුව විසින් ප්‍රකාශයට පත්කරනවා. 
 
 ලයිස්තුවේ නම නෑ !
 
එතකොට ඕනෑම කෙනෙකුට පුළුවන් බලාගන්න කොයි කොයි පුද්ගලයන්ද ඒ කියන මාස තුනක කාලය තුළ ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරලා තියෙන කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අවරුද්දේ අප්‍රේල් මාසයේදී පුරවැසිභාවය අතහැරපු නිසා ඊට කලින් මාර්තු මාසයේ 27 වැනිදා පළවෙච්ච ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලැයිස්තුව තුළ  ඔහුගේ නම තිබුණේ නැහැ. මේක සමහර අය සඳහන් කරාම ගම්මන්පිල මහත්මයා මට මතකයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා අප්‍රේල් මාසයේ අතහැරපු ඇමෙරිකානු පුරවැසිභාවයක් පිළිබඳව කොහොමද මාර්තු මාසයේ ප්‍රකාශයට පත්වෙච්ච ඇමෙරිකානු ලැයිස්තුවකට නම ඇතුළත් වෙන්නේ කියලා. ඒ තර්කය හරි ඔහු ඒකෙදි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වෙනවායි කියලා ඊළඟට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලැයිස්තුව තුළ. අපි ඒක බලාගෙන හිටියා නමුත් ඊළඟ එකෙත් ඒ නම ප්‍රකාශයට පත් වුණේ නැහැ. දැන් ඊට පස්සේ ගිය සුමානේ නැවත වතාවක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ කියන අලුත් ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා.
 
දික්කසාදයකදීවත් වලංගු නොවන දෙයක් ගෝඨාභයට වලංගුද ? 
 
මේ අළුත් ලැයිස්තුවෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ ගිය සතිය වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ  ඇමෙරිකානු පුරවැසියෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන අයදුම්පත ලංකාවේ  කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරලා තියෙන බව අපි දන්නවා. නමුත් තානාපති කාර්යාලයට ඇයදුම් පත්‍රය ඉදිරිපත් කළ පමණින් එදා සිට ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වෙනවායි කියලා කිසිකෙනෙකුට කියන්න බැහැ. මම උදාහරණයක් හැටියට කියන්නම්. යම්කිසි කෙනෙක් දික්කසාද නඩුවක් ගොනුකරපු දවසේ දික්කසාදය පිළිබඳව ඒ පුද්ගලයාට කියන්න බැහැ මම දැන් දික්කසාද වුණාය කියලා. ඔහු කරලා තියෙන්නේ දික්කසාද නඩුව අධිකරණයට පවරලා තැබිම විතරයි. එතකොට දික්කසාද නඩුව යනවා දිගටම ඒකේ විනිශ්චය තමයි ඔහුට කියන්නට පුළුවන් වෙන්නේ සමහරවිට මාස දෙකකින් තුනකින් වෙන්න පුළුවන් අවුරුදු ගානකින් වෙන්න පුළුවන් තීන්දුවෙන් පස්සේ තමයි ඔහුට කියන්න පුළුවන් වෙන්නේ මම දැන් දික්කසාද වුණ පුද්ගලයෙක් කියලා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා තමන් ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරගැනීමේ අභිලාෂය ප්‍රකාශයට පත්කිරීම මොන විදිහකින්වත් ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර ගැනීමක් වෙන්නේ නැහැ. 
 
ඇමරිකානු පුරවැසියා ගැන සැකයි !
 
එය අතහැරගැනීමක් වෙන්නේ ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ඉල්ලීම පිළිඅරගෙන අවශ්‍ය කරන විමර්ශන පරීක්ෂණ ඔක්කොම කරලා, ඔහු පිළිබඳ ලිපිගොනු සියල්ල අධ්‍යයනය කරලා, ඔහුගේ වෙනත් වාර්තා අදායම් වාර්තා වෙන්න පුළුවන් වෙනත් වාර්තා වෙන්න පුළුවන් පොලිස් වාර්තා වෙන්න පුළුවන්, මේ සියල්ල අධ්‍යයනය කරලා අවසානයේදී විනිශ්චය කරොත් විතරයි  ගෝඨාභය මහතාට කියන්න පුළුවන්  වෙන්නේ මම දැන් ඇමෙරිකානු  පුරවැසියෙක් නෙවෙයි කියලා. නමුත් ගිය සතියේ ප්‍රකාශයට පත්වුණ ලැයිස්තුව තුළත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  නම නොතිබීමෙන් පෙනී යන්නේ තවම ඇමෙරිකානු ආණ්ඩුව තීරණය කරලා නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමෙරිකානු පුරවැසියෙක් නෙවෙයි කියලා. එහෙනම් අපේ ඉදිරියේ අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඇමෙරිකානුවෙක්. එතකොට අපේ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලාම අපි විවිධ විදේශ බලවේගවලට යටත් වෙලා තියෙනවා මේ රට. අපි කවුරුත් දන්නවා ඉන්දියාව විවිධ අවස්ථාවල ආක්‍රමණ කරලා අපිට යටපත් කරගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ 1505 දී පෘතුගීසින්ට යටත්වෙලා අපි හිටියා.  
 
ඊට අවුරුදු 155 කට පස්සේ ලන්දේසීන්ට යටත් වෙන්නට අපිට සිද්ධ වුණා. එතනින් පස්සේ තව අවුරුදු සිය ගණනක් ගියාට පස්සේ අපිට ඉංග්‍රීන්ට යටත් වෙලා ඉන්නට සිද්ධ වුණා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක ඇමෙරිකානුවෙකුට යටත් වෙලා ලංකාව තිබිලා නැහැ. මේක තමයි තමයි පළවෙනි අවස්ථාව යමිවිදිහකින් ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් ජයගත්තොත් ලංකාව ඇමෙරිකානුවෙක් ජනාධිපති වශයෙක් ඉන්න රටක් බවට පත්වෙනවා. මේක ඉතාමත්ම භයානක තත්වයක් අපි කියන විදිහට මොහු ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳවත් සැකයක් තියෙනවා මේ තත්වය තුළ. අභායාචනාධිකරණයේ තීන්දුව අපි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමට බලාපොරොත්තුවන තත්වයක් තුළ සහ මොහු කියන 2005 න් පසුව 2019 දී ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තාය කියන කාරණයත්  බරපතල සැකයකට තුඩුදීල තියෙන  වාතාවරණයක් තුළ අපි නියමනය කරනවා ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමෙරිකානුවෙක් කියලා.