ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිවන පරිදි කිසියම් කුමන්ත්‍රණකාරී කටයුත්තක් වෙනුවෙන් වන සූදානමක් පිළිබඳ බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාටද වාර්තා කර ඇති බවත් එහිදී ලද උපදෙස් මත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් වහාම සකස් කරන්නට උපදෙස් නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත.
ජාතික සාමය කඩකර එය මැතිවරණ වාසියක් බවට පත්කර ගන්නට දරන මේ කුමන්ත්‍රණ සූදානමේ ඉලක්කය ලෙස බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ අද (13) පැවැත්වෙන සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක රැළි 3 ක් සහ ජාතික ජනබල වේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සහභාගී වන ජන රැලිය ආශ්‍රිතව බවත් වාර්තා වෙයි.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ වල පැවැත්වීමට නියමිත මෙම රැලි අතරින් ගාල්ල, මාතර වැලිගම සහ මැද කොළඹ පැවැත්වෙන ජන රැලි 3ක් සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන අතර අලුත්ගම දර්ගා නගරයේ ජන රැලියක් ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකගේ ප්‍රධාන සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
ඒ අනුව ආරක්ෂක අංශ වැඩි අවධානයක් මේ වෙත යොමුකර ඇති අතර සියළු දේශපාලන රැස්වීම් වල ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස් නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පසුගිය කාලය පුරා ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට වෙරදැරූ පිරිසක් මෙන්ම කලක් ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමින් වැටුප් ලැබූ බවට සැළකෙන පිරිසක් මේ කුමන්ත්‍රණය පසුපස සිටින බවට සැකසංකා පළව තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට දින 3ක පමණ කාලයක් තිබියදී ජාතික ආරක්ෂාව දුර්වල බවට ජනතාව අතර මතයක් ඇති කිරීමට සහ එය එක් දේශපාලන කඳවුරක වාසියට යොදාගැනීමට අවස්ථාව සැලසීම මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවේ අපේක්ෂාව බවටත් ආරක්ෂක අංශ සැක පළ කරයි. ඒ මීට පෙරද ජනාධිපතිවරණ අවස්ථාවේ බෝම්බ පිපිරීම් පවා සිදුව එය ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට පවා බලපෑම් සිදුකර ඇති නිසාය.

