Language Switcher

V2025

රනිල් යළිත් විපක්ෂ නායක : සජිත් දිවියන් රකින්න යයි !

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ යළිත් දැඩි වාද විවාද ඇති වී තිබෙන නමුත්, රනිල් වික්‍රමසිංහ යළි විපක්ෂ නායකයා ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 6,924,255ක් ලබා ගනිද්දී ඡන්ද 5,564,239ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට යෝජනා කර තිබේ. 

විපක්ෂ නායක ධුරයට සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ඊයේ (20) ප්‍රකාශ කළේය. වෙනත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවද ඔහු පැවැසීය.

කෙසේවුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවයි.සජිත් ප්‍රේමදාස "කළකිරීමෙන්"සජිත් ප්‍රේමදාස විපක්ෂනායකයා ලෙස පත්කළ යුතු බවට ඔහුට සහය දක්වන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කල ද සජිත් ප්‍රේමදාස ඊයේ (20) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉමහත් උද්යෝගයකින් යුතුව කැපකරන බවයි. 

ඔහුට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සදුදා (18) මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස "යම් කළකිරීමකට පත්ව සිටින" බවය.

එසේම, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවයි.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 වැනිදා යළි රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද අද (21) රැස්වීමට නියමිතව ඇත.

සජිත්ගේ රැස්වීම අවලංගුයි !

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21 වැනිදා) පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීම නොපැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය ඊයේ (20 වැනිදා) පස්වරුවේ නිවේදනය කළේය.

එම උත්සවය ඉදිරි දිනයකදී පවත්වන අතර ඒ පිළිබඳව සියලුම ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.