Language Switcher

V2025

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි නීතිපති අද (04) ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

ඔහු අධිකරණයට පැවසුවේ එම ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව එරට නීතියට අනුකූලදැයි සළකා බැලීමෙන් අනතුරුව උදර්පන නියෝග ලබා ගැනීමට සුදුසු අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ බැඳුම්කර වංචා නඩුව අද සළකා බැලිණි.

මේ අතර නඩුවේ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා නැවත සිතාසි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල අද නියෝග කළහ.

තවද පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට මෙම මස 06 වැනිදා සිට ලබන ජනවාරි 06 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට අවසර ලබා දුන්නේය.

ඒ අනුව ඒ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ 25 බැගින් පෞද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට ද නියම කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට අධිකරණය මඟ හරිමන් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට රජය යොමු කළ ලිපි ලේඛන සිංගප්පූරු දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි.

එසේම ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව රජයට දන්වා තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතියට අනුකූල දැයි සොයා බලා එරට අධිකරණයෙන් සුදුසු නියෝගයන් ලබා දෙනු ඇතැයි ද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සියලූ කරුණු සලකා බැලූ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.