එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදී, මෙවර මහ මැතිවරණයේදී එම පෙරමුණේ අගමැති අපේක්ෂකත්වය කරු ජයසූරියට හෝ චම්පික රණවකට ලබාදීමේ, නව යෝජනාව කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇතැයි සති අන්ත 'රාවය' පුවත්පත වාර්තා කරයි.
මේ සඳහා, හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක එජාපයට බඳවාගෙන, සැලකිය යුතු තනතුරක් ලබාදිය යුතු බවද, එම යෝජනාව ඉදිරිපත් කර ඇති, එජාපෙ කණ්ඩායම දැනුම් දී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
''මේ සම්බන්ධයෙන් විමසීමේදී එජාපයේ නොවන, එජාපෙ වෙනත් පක්ෂයක නායකයෙක් පැවසුවේ, මහ මැතිවරණයට ගොඩනගන සන්ධානයේ නායකයාද එජාපයේ නායකයාම විය යුතු නිසා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට තම පක්ෂයද යම් බලපෑමක් කරන බවය.
එමෙන්ම 2025 දක්වා, ප්‍රේමදාසව ආරක්ෂා කරගත යුතු නිසා මෙවර අගමැති අපේක්ෂකත්වය කරුට හෝ චම්පිකට ලබාදීම සුදුසු බව තමාද සිතන්නේ යැයි ඔහු කීය.
ආසන 104 ඉක්මවා ලබාගැනීමේ ඉලක්කයක් !
එහෙත් 2025 ට පෙර ළඟ එන මහ මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂවලට ආසන 104 ඉක්මවා ලබාගැනීමට දැනටමත් ඇති හැකියාව, තවත් වර්ධනය කරගැනීම පිළිබඳ සිතිය යුතු බවත්, එම නිසා පක්ෂ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වයද සජිත් ප්‍රේමදාසට ලැබිය යුතු බවත්, එම පාර්ශ්වයේ ප්‍රබලයෙක් වන මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ විදේශ ගත වීමට පෙර, අවසන් වරට පැවති සාකච්ඡාවලදී ඒ සඳහා ඔහුගේ යම් කැමැත්තක් පළ වුවද තමන් නායකත්වයෙන් ඉවත් වූ පසු ඔහු වටා සිටින පිරිසගේ දේශපාලන ඉරණම ගැන ඔහු දැඩි ලෙස සිතන බවත් පෙනුනේ යැයිද එම මන්ත්‍රීවරයා කියා සිටියේද.
මේ නිසා එජාප නායකයා වටා ගොනු වී සිටින සුළු පිරිස, ඔහුට දැඩි බලපෑමක් කරමින් සිටින බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමටද එජාපෙ අනෙකුත් පක්ෂ නායකයන් ප්‍රබල වැඩ කොටසක් කළ බව, අමතක කරමින් සජිත් පාර්ශ්වයේ ඇතැමුන් හැසිරෙමින් සිටීමද විසඳුමකට බාධාවක් වී ඇතැයි එජාපෙ පක්ෂයක තවත් මන්ත්‍රීවරයෙක් කීය.''

