අනූ ලක්‍ෂයක් ජනතාවට  එක පෙරමුණක්..?

අනූ ලක්‍ෂයක් ජනතාවට  එක පෙරමුණක්..?

නොවැම්බර් ජයග්‍රහණයෙන් උද්දාම වූ තරුණ සිත්තරුන් කඩු කිරිච්චි තුවක්කු බයිනෙත්තු අතැති මිනිසුන් සහිත වර්ණවත් චිත්‍ර කර්මයෙන් රට පුරා තාප්ප අලංකාර කරති. එයින් එක් සිත්තරෙකු වූ කලවානේ ධනූෂ ලක්ෂාන්  පාරේ මියෑදිණ. ඒ ඌරුමීවල කුසලඤාණ නම් රියැදුුරු භික්‍ෂුවක් පැදවූ වාහනයට යට වෙලාය. රටේ නීතියෙන්  වාහනයක් පැදවීමටද  භික්‍ෂුවකට අයිතියක් නැත. ගලගොඩඅත්තේ රියැදුුරු  භික්‍ෂුව දඩ කෑවේ බීමත්ව ලොරියක් එළවා මිනිසෙකු යට කිරීම නිසාය. ඒ මහ රෑය. මේ මහ දහවල් ය.  කට්ටඬි, ගුරු, ශිෂ්‍ය, මන්ත්‍රී ආදි නව ප්‍රවනතා අතරට, ඞ්රයිවර් හාමුදුරුවරු..... අනුජානාමි භික්ඛවේ...?

එකී භික්‍ෂු රියදුරාට ක්‍ෂණයකින් ඇප නියම විය. අනතුරකට ලක්වූ වාහනය පැදවූයේ නැතියි කී වරදට මහ රාත්‍රියේ  අත් අඩංගුවට ගත් පාඨලි චම්පික 24දා  තෙක් රිමාන්ඞ් කෙරිණ. පෙහොට්ටුවට කතිර නොගැසූ  අනූ ලක්‍ෂයක් දෙනා තැති ගත්හ. ඒ නීතිය ඇඹරෙන වේගය නිසාය.

2019 නොවැම්බර් 03  වෙනි දින අනිද්දා පත්‍රයේ  ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි 1988 බුලට් ය. 2019 බැලට්ද? යනුවෙන් පළවූ ලිපියෙහි ඇතුළත් මේ කොටස නැවත කියවන්න.

“ ජූලියේ  කුරුණෑගල අඹකොටේ ග්‍රාම නිලධාරි වරයාට පහර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීට එරෙහිව පළාතක ග්‍රාම නිලධාරින්ට පාරට බැස්සාහ. පොලිසිය උසාවි දැමූ කුරුණෑගල මන්ත්‍රීට නියම කළ මුදල් ඇපය රුපියල් 15000/-කි. ඒ කාලයේම කයිට්ස්හී 11 හැවිරිදි දැරියක සමූහ දූෂණයකට ලක්කළ  සැකකාර නාවික භටයන් 6 දෙනාගෙන් එක් නාවික භටයෙකුට රුපියල් 250/- බැගින් මුදල්  ඇප නියම කෙරිණ. එහෙම වුණේ උතුර අතු ගෑ හමුදා කොස්ස  දකුණ සුද්ද කිරිමට යොදා ගත් නිසාය. 2015 ජනවාරියේ එය නතර විය. 2019 නොවැම්බරයෙන් එය නැවත පටන් ගන්න ඉඩ දිය යුතුද?  ඒ ලිපිය පළවී  දින 50ක් ගෙවී නැත. අනිද්දා දුටු අවදානම දැන් වීදි බැස හමාරය. ඉහත කී වාහන අනතුරු දෙක  නව පාලනයේ  හරස්කඩකි.

 2019ට ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාව, එක්කෝටි පනස් නව ලක්‍ෂ අනූ දෙදහස් අනූ හය(15992096)කි. එයින් පොහොට්ටුවට  ඡන්ද 6924255ක් ලැබිණ. එය 43.29%කි. පොහොට්ටුවට ඡන්දය නොදුන් සංඛ්‍යාව, 9067841ක් හෙවත්  56.71%කි. 2019දී රටේ මුථ ජනගහනය දෙකෝටි දහතුන් ලක්‍ෂ විසිතුන් දහස් හත්සිය තිස් තුන් දෙනෙ(21323733)කි. සමස්ත ජනතාවගේ  ඉරණම, සුබ සාධනය, පැවැත්ම, පොහොට්ටුවේ  වැඩි ඡන්ද නව ලක්‍ෂයම පාරට බැස්සත් වෙනස් නොවේ. ගෝඨා දිනවූ මාධ්‍ය කාරයන්  පාඨලීගේ වාහනයේ ගැටී ආබාධිතවූ, සංදීප් සම්පත් සොයා ගියහ.  ඔවුන්ට කලවානේ  යොවුන් සිත්තරාගේ නිවෙස හමුවී නැතිද?  ඒ ඞ්රයිවර් හාමුදුරුවෝ පොහොට්ටුවේ නිසාය. උසාවිය පාඨලී රිමාන්ඞ් කළ නීතිය පැහැදිලිද?

හිරේ යා යුතු ගෝඨා ජනාධිපති වුණොත්..... ඊට රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ එජාපය වගකිව යුතුවේ. මේ බව විශ්‍රාමික විදුහල්පති වරයෙකු කී අනාවැකියකි. එය සිදු වෙමින් නො පවත්නේ ද? අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා මහ බැංකුව කොල්ල කෑමේ පටන්, ශිරන්ති රාජපක්‍ෂට එරෙහි පරීක්‍ෂණ යට ගැස්වීම, කෂඩ වීරවංශ බේරා හැරිම, මෙන්ම, වජිර අබේවර්ධන ලවා ගෝඨාභයගේ පුරවැසිකම හයි කිරීම තෙක් සියල්ල කළේ රනිල් වික්‍රමසිංහලා ය. ඒ මාදු`ථවාවේ හාමුදුරුවන් ඒකරාශී කළ බලය පාවිච්චි කරමිනි. 2015 මැතිවරණය නිමවූ සැනින්  මහින්ද රාජපක්‍ෂ පළ කළ මැතිවරණ දැන්වීම් සඳහා ලේක් හවුස් ආයතනයට ගෙවා දැමීය. එක් කෝටි අනු ලක්‍ෂ ගණනක් වූ එකී මුදල දාහේ, පන් දාහේ මුදල් නෝට්ටු ගෝනියක පුරවා ගෙන ආවේ,  ශ්‍රී ලංකා  පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. (අ) එපමණ මුදලක් නෝට්ටුවලින් ගෙන ඒම සහ (ආ) රජයේ නිලධාරියෙකු දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන්  එසේ සක්‍රිව මැදිහත්වීම යන  ක්‍රියා දෙකම වැරදි වේ.  අර නිලධාරියා වෙනුවෙන් එකී මුදල් ගෙවූ ලදු පතේ කාබන් පිටපත විනාස කළේ කවුද? එය දන්නේ සාගලගේ අයියා කාවන් රත්නායක පමණි. එහි කොපියක් එවකට ජන මාධ්‍ය ලේකම් කරු පරණවිතාන දැක තිබිණ. පොලිසිය සෙවූ  ගාමිණි සෙනරත් සැඟවී සිටියේ සාගල වජිර ඇමතිලාගේ නිවෙස්වල බව රහසක් නොවේ. කෝටි ගණනක හොර සල්ලි නෝට්ටු සමග අසුවූ දුලාංජලී ප්‍රේමදාසට නඩු නො වැටිණ. සජිත් ප්‍රේමදාස මැතිවරණය අතර. රාජපක්‍ෂලාට එරෙහිව කට හෙල්ලුවේ නැත. රාජපක්‍ෂලා අගවිනිසුරුවරිය පහ කිරිමට පාවිච්චි කළේ  රාජිතලාය. ප්‍රදීප් එක්නැලිගොඩට සිදුවූ දේ වඩාත් හොඳින් දැන සිටියේ පාඨලී චම්පික ය. ගෝඨාභය දිනුවේ බෞද්ධ භික්‍ෂුන් නිසා නොවේ.  එජාපයේ සිටි මේ  වරෙත්තුවන් නිසාය. ඔවුන් ජනවාරි ජන වරම රුපියල් සත වලට වික්කාහ. අද අනූ ලක්‍ෂයක් හංසයාට ලැබුණ  සහ  ඡන්ද පොළට නොගිය ඡන්ද දායකයන්  එහි ප්‍රතිපලය භුක්ති විඳිය යුතුව ඇත.

මැරුණ සිත්තරාගේ මළගමටවත් ගිය කෙනෙක් නැත.  වරදකරු නිදැල්ලේය. රනිල් සජිත් නායකත්වය ඉල්ලා නෝනා පොල්ල උඩ දමති. මේවා දෙස නො බලති. කකුලෙන් ඇද්දත්, පැටලී වැටුණත්, වැටුණ පසු එක්ව නැගිටිනු මිස උනුන් හපා ගැනීම බලු බළල් හැසිරීම් වෙති. දැන් එජාපය ඔට්ටු පටලවා ගත් බූරු මණ්ඩියකි. එවැනි පක්‍ෂයක් නම් නැත.

විසිවෙනි සියවසේ ලංකාව මෙහෙයවූ සේනානායකලා එජාපය නිර්මානය කළේ ඓතිහාසික  ලංකා ජාතික සංගමය කෙරෙහි උපන් ගරුත්වයෙනි. එවැනි උදාර කල්පනා  අර බූරු මණ්ඩියේ නැත. රනිල් කැලණි පංසලෙන්ද නෙරපා හමාරය. සජිත් යන්නේ පංසල්ද පල්ලිද කියා ජලනී ප්‍රේමදාසවත් නොදනී. වරක් පන්සල් වලට පනස් දාහ ගණනේ බෙදූ සජිත් ඇමති වූ ඉක්බිති චෛත්‍ය 20000ක් ඉලක්ක කළේය. එහෙම බෞද්ධ වෙන්න පු`ථවන්ද? රනිල්  කරු වෙනුවෙන් කතා කළාට සජිත් ගැන කතා කිරිමට භික්‍ෂුන් උත්සුක නොවේ.
බෞද්ධවීමට දඟලන එජාපය ලංකාව බෞද්ධ බව දන්නේ දැන්ය. දිවයිනේ භූමියෙන් පහෙන් තුනක් සිංහල බෞද්ධ ප්‍රදේශ ගෝඨා තේරූහ. නිරුවත්ව පුහු වළක බැස කන්‍යාවන් හත් දෙනෙකු ලවා ස්නානය කෙරෙව්වත් එජාපයට සිංහල බෞද්ධ හෝ දේශීය විය නො හැකිය. අමරපුර මහ නිකායේ ගිහි භාරකාර ලලිත් ඇතුලත් මුදලිද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පළමු ගිහි භාරකරු ඩී.එස්.සේනානායක මෙන්ම, වර්තමාන ගිහි භාරකරු කරු ජයසූරියද එජාපයේ දේපළ වෙති. අදටත් එජාපය සමග සිටින  කරු ජයසුරිය සජිත්ලාට පට්ට නාකියෙකි.  පන්සල් ගිය ආර්.ප්‍රේමදාසගේ අනුප්‍රාප්තික රනිල් 25 වසරක් කෑ එජාපය ප්‍රේමදාසගේ පුතා ජනාධිපති අපේක්‍ෂකයා වී තුන් මසක් තුළ ඉවර කළේය. මැරුණ ප්‍රේමදාස රනිල් සජිත් දෙදෙනාටම ආවේස වෙලා වගේය. වර්තමාන එජාපය පක්‍ෂ ඉතිහාසය මත ඉදි කළ සිහිවටනයකි. සොහොන් කොතක් වුවද, 25 වසරක් නොතකා හැරියොත් පොළොවට ගිලා බසී. එජාපයට ප්‍රේමදාසලා රනිල්ලා  ඒ ටික කර හමාරය.

එජාපයත් සමග රටේ  ප්‍රධාන දේශපාලන ධාරා 3කි. එයින් උතුරු නැගෙනහිරට බද්ධ දෙමළ ජාතික සංධානය, ස්වකීය ජනතාව සමග දකුණේ අපට දෑත් දිගුකර හමාරය. නොවැම්බරයේදී  ඔවුන් යාපන වන්නි දෙ පළාතේ 487461 දෙනෙකු හංසයා සමග පෙළ ගැසිණ. උතුරෙන් ඇම්.කේ. සිවාජිලිංගම්ට හිටියේ 8140කි. (උතුරට ස්වං නිර්ණ අයිතිය ලබාගත හැකි එකම ජනාධිපති අපේක්‍ෂකයා සිවාජිලිංගම් බව දෙමළ ජාත්‍යන්තර පක්‍ෂයේ නායක වර්දරාජා පෙරුමාල් මාධ්‍යයට කීය.) ජාතිවාදි නොවන එජාපය සහ ජවිපෙය උතුරේ බහුතරය සමග සංධානගත විය යුතු වේ. තවදුරටත් බෙදිය යුතු නොවේ. උතුර දකුණ එක් නොවී රාජ්‍ය ත්‍රස්තවාදය මැඩලිය නොහැකිය. උතුරේ  418553ක් දෙනා ලාංකිකයන් මිස තවදුරටත්  දෙම`ථන් නොවිය යුතුවේ.  ජාතිවාදි විග්නේශ්වරන් වාසියට බෙදුම් වාදය විකුණන, තවත් ඩග්ලස් දේවානන්දා කෙනෙකි.

ජනතා විමුක්ති පෙරමුණ ගැන අනිද්දා පත්‍රය කීවේ කුමක්ද? 2020දී සුදු වෑන් එනවිට, ගැහැනුන් දූෂණය වන විට, උසාවි වැසෙන විට අනුර කුමාර උඹලාත් හිටියාදැයි ඉතිහාසය අසනවාට ජවිපෙය කැමතිද? (2019-03-24 දින අනිද්දා පත්‍රය) වැරදීම් හරහා ගොඩ නැගුණ බොහෝ ශක්තීන් සක්‍රියව ඉතිහාසය යළි නිර්මානය කළහ. කවදත් එජාපයට ලෙන්ගතුව සිටි ඉහත කී විදුහල්පති වරයාට අනුව, එජාපය විසිවෙනි සියවසට අනුකූලව බිහිවූ පක්‍ෂයකි. ඊට කාලීන අත්හදා බැලීම් කළ හැකිද? ඔහු විමසමින් සිටියි. එජාපය බිහිවුණේ 1947දීය. ජවිපෙය 1971දීය. ජවිපෙ යනු කැපවීම පිළිබඳ අත්දැකීමකි. එය විජේවීර තේරූ සීනුව, රතුපාට හෝ තොප්පිය නොවේ.  

අයිවෝ ඩෙනිස් කී පරිදි අනුර කුමාර දිසානායකලා කළ යුත්තේ ජනතාවගේ නෙතු සඟල වෙමින් රට දෙස බැලීමය. ජනතාවගේ යුග සවන වෙමින්   කන්දීමය. (2019-03-24 දින අනිද්දා පත්‍රය) මේ ඒ සඳහා කාලයයි. පාඨලී චම්පිකගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරිම ගැන කතානායක කරු ජයසුරිය හමුවන ජවිපෙය, දෙමළ ජාතික සංධානය මේ පොදු දේශපාලන සංධානයේ පළමු සාකච්ඡාව කළ යුතුවේ. ෂානි අබේසේකර තිසේරාලා තනි නො කළ යුතුවේ. ඔක්තෝබරයේ පාර්ලිමේන්තුව බේරා ගැනීමේ ගෞරවය ටී.එන්.ඒ. ජවිපෙ දෙක සතු වේ. ඒ සිද්ධියේදී සජිත් ප්‍රේමදාස කැස්සේවත් නැත. හේතුව සිරිසේන ලවා රනිල් බ්ලාස් කිරීමට සජිත් දත මැද බලා සිටි හෙයිනි. රාජපක්‍ෂලා සමග පාරේ සටන් බැරිය. ගහනවාය. උස්සනවාය. මරණවාය. එකම පිළියම ශක්තිමත් පාර්ලිමේන්තුවකි. වැස්ස සමග ඩෙංගු මෙන් ජයග්‍රහණය  සමග මර්ධනය හිස ඔසවා ඇත. පක්‍ෂ පාට ලාංචන බිම තබා නව දැක්මකින් මේ අවදානමට මුහුණ දිය යුතුවේ.

අරගලයකදී  මිනිසෙකු තුළ නලියන ජවය, ප්‍රඥාව, 79 හැවිරිදි කරු ජයසුරිය සතුව ඇත. කරු රනිල්ට සජිත්ට වඩා ක්‍රියාවෙන්  තරුණය.  තොරතුරු පනත  ස්වාධින කොමිෂන් සභා වැනි බොහෝ ප්‍රගතිශීලි ක්‍රියාවන්හිදී කරු මිස සජිත් සිටියේ නැත. කරු ජයසූරිය  ගිය සතියේ එජාපයට නෝටිස් දී ඇති හැටියකි. 19 වෙනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා රැකීමට පාර්ලිමේන්තු ශක්තිය ගොනු කිරිමට නව පෙරමුණක්, නව ලකුණක් සමග පෙළ ගැසීමට කාලය එළඹී ඇත. රනිල්ගේ ලිබරල් වාදය, සජිත්ගේ ආර්.ප්‍රේමදාස වාදය ප්‍රතික්‍ෂේප වී හමාරය. නීතිපති කාට වරෙන්තු නිකත් කළද කරු ජයසුරියට සමීප විය නොහැකිය.  2015දීත් 2019දීත් බුද්ධිමතුන්  කරු ජයසුරිය දෙසට හැරුණේ ඒ නිසාය. උතුර දකුණ එක්කොට, රටේ නීතිය  ප්‍රජාතන්ත්‍රවාය වෙනුවෙන් නිර්පාක්‍ෂික පෙරමුණකට  එජාප මානසිකත්වයේ අවශ්‍යතාවය පිරවිය යුත්තේ කරු ජයසුරිය විසිනි. මේ අර විශ්‍රාමික විදුහල්පති වරයා හිතන විදිය වේ. එහි යම් සත්‍යයක් ඇත. රාජපක්‍ෂලා මුහුණ දීමට අපේ පක්‍ෂ ශක්තිමත් නැත. අපේ පක්‍ෂවලට වඩා මිනිස්සු කැලණියට නාග ලොවින් වැඩම කළ ධාතුන් විශ්වාස කරති. බුද්ධාගමත් විකෘති කළ රටේ නව මානයක් සඳහා අලුතෙන් කල්පනා කළ යුතුව තිබේ. 2015 ත් 2019ත් උතුරේ ජනතාව එක් කළේ නිර්දේශපාලන දැක්මකි. අනුර කුමාරලා, කරු ජයසූරියලා ඒ සත්‍ය දැකිය යුතුව ඇත. අනූ ලක්‍ෂයක් වෙනුවෙන් දිනා ගත යුත්තේ තවත් පන් ලක්‍ෂයක් පමණකි.

මුළු ඡන්ද ප්‍රමාණයෙන් 56.71%ක් ගෝඨා සමග එකඟ නොවෙති. ඒ අර්ථයෙන් ගෝඨාට ලැබුණේ 43.29%කි. ඡන්ද පොළට නොගිය හෝ චේතනාන්විතව මතයක් නොදැරූ ප්‍රමාණය 21.92%කි. යටපත් නොවන මේ ප්‍රයෝගික ප්‍රජාතන්ත්‍රවාදය හුස්ම ගන්නා විට, ජනතාව වීදි බසිති. ආණ්ඩු පෙරළෙති. විප්ලව කෙරෙති. නව නීති සැකසෙති. ප්‍රංශ විප්ලවය එවැන්නකි.   56.71%ක් හෙවත් රටේ 9067841ක්  දෙනාගේ  ජීවත් වීමේ, හුස්ම ගැනිමේ, කෑමේ, බිමේ,  පාරේ ඇවිදිමේ, මතවාද දැරීමේ, කතා කිරිමේ නිදහස පැවතිය යුතුවේ.  ඡන්දය නොදුන් තිස් ලක්‍ෂයක් දෙනා ද, සබුද්ධික මිනිසුන් වෙති. අපි ඡන්දෙ දාන්න යන්නේ නෑ කියන්නේද මතයකි. එහෙත් ඡන්ද ලබාගෙන හතරවරම් කෙළිනවාට එරෙහි වෙති. 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න