ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරන රජයේ නීතිපති විසින් ස්විට්සර්ලන්ත රාජ්‍ය නායකයා චෝදනාවන්ට ලක් කිරීම බරපතල කාරණයක් යැයි ශ්‍රී ලංකා ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට ට ඇප ලබා ගැනීමේ දී ගානියාගේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ අවධානයට යොමු කෙළේ ය.
රජය අපහසුතාවයට පත් කරමින් අසත්‍ය තොරතුරු කීවා යැයි චෝදනා කරමින් රිමාන්ඩ් භාරයේ සිටි ගානියා ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇප ලබා දෙනවාට විරුද්ධව රජයේ නීතිඥ ජනක බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තර්කයට විරුද්ධව ඉහත කී තර්කය උපුල් කුමාරප්පෙරුම නැගුවේ ය.
රජයේ නීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ ගානියා ස්විස් තානාපති නිල නිවසේ යලි රැඳෙනු ඇති බවත්, ඇයට ස්විස් රටේ සරණාගත භාවය දී, ඇයට ස්විට්සර්ලන්ත විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඇය රටින් පිට කරනු ඇති බවත් එය ඉදිරි විමර්ශන වලට බාධාවක් බැවින් ඇය ඇප මත නිදහස් නොකළ යුතු බවයි. ගානියාගේ දරුවන් තිදෙනාත් ඇයගේ මවත් දැනට දින දෙකකට පෙර ස්විස්ටර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බවද ජනක බණ්ඩාර කීවේ ය.
ඊට පිළිතුරු දෙමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම කීවේ රජයේ නීතිඥ යනු රාජ්‍ය නියෝජනය කරන නීතිපතිවරයාගේ නීතිඥයා බවත් ඔහු නගන තර්කය ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කරන බැවින් එය ඉතා බරපතල බවයි. ඔහු චෝදනා කරන ස්විස් තානාපති යනු ස්විස් රාජ්‍ය නායකයා නියෝජනය කරන පුද්ගලයා වන අතර අද මේ අධිකරණයේ නියෝජ්‍ය තානාපතිවරයාත් දේශපාලන ලේකම්වරයාත් සිටින අතර රජයේ නීතිඥයා චෝදනා නගන්නේ ශ්‍රී ලංකාවේ රජය ස්විස් රජයට විරුද්ධ ප්‍රකාශයක් බවයි. රජයේ නීතිඥයා මතු කරන කිසිවක් මේ නඩුවේ කරුණු ලෙස ඉදිරිපත් වී නැති බවද කුමාරප්පෙරුම අධිකරණයට පෙන්වා දුන්නේ ය. ගානියාගේ දරුවන් තිදෙනාත් මවත් ස්විට්සර්ලන්තයට ගොස් ඇතැයි කතාව බොරුවක් බවත් ඔවුන් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙන බවත් ඔවුන් ඉදිරි පාසල් කාලය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් කුමාරප්පෙරුම කීවේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ රජයේ නීතිඥවරයා නගන තර්කයට අදාල කිසිදු කරුණක් සාක්කියක් නඩුවේ ඉදිරිපත් වී නැති බවත් තමන්ට අවශ්‍ය ඇයට ඉදිරියේ අධිකරණයට පැමිණිය හැකිද, ඇප ලබා නොදීමට සාක්කි තිබේද යන්නයි. ඇයගේ මව සහ දරුවන් විදේශ ගත වීම මේ නඩුවට අදාල කාරණයක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය කීවාය. ගානියා පදිංචි ලිපිනයේ සිටින්නේ නම් ඇයට මා ඇප ලබා දෙනවා යයි කී මහේස්ත්‍රාත්වරිය ගානියා බැරිස්ටර් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.
ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවත් ගානියා ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවත් පදිංචියේ වෙනසක් සිදු කරයි නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවත් ඇප කොන්දේසි වල සඳහන් විය.
ගානියාගේ ජංගම දුරකථනය පරීක්ෂන සඳහා ලබා දීමට ගානියාගේ නීතිඥවරු කැමැත්ත පළ කළහ.
යලි නඩු විභාගය ජනවාරි 09 වෙනිදා ට කල් තැබිණ.
"රජයට එරෙහි කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකරන්න. ඔබ එසේ කළහොත් අපි පැමිණිලිකරු, සාක්කිකරු සහ වින්දිතයා චුදිතයින් බවට පත් කරන්නෙමු - රාජපක්ෂ රජය " ලෙස සඳහන් සටහනක් ඊයේ සමාජමාධ්‍ය අතර පැතිර ගියහ.
(ලංකා ඊ නිව්ස් )