ගෝඨාභයගේ නියෝගය කැබිනට් ඇමතිවරුන් නොතකා හැරලා !

ගෝඨාභයගේ නියෝගය කැබිනට් ඇමතිවරුන් නොතකා හැරලා !

රාජ්‍ය අමාත්‍යවරුන්ට එකී ධුරයන්ගේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් අවශ්‍ය විෂය සහ ආයතන පවරාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර සිදුකර තිබු දැනුම්දීම කැබිනට් අමාත්‍යවරුන් විසින් නොසළකා හැර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ මෙම දැනුම්දීම සම්බන්ධව කැබිනට් අමාත්‍යවරුන් අතර ප්‍රසාදයක් තිබී නැත.

එසේම  ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ලබාදුන් මේ නියෝගය සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණක් බවය.

මේ අතර තම දැනුම්දීම කැබිනට් අමාත්‍යවරුන් නොසළකා හැර ඇති නිසා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව විෂයන් හා කාර්යයන් පැවරීමට කටයුතු කරන්නයි දන්වමින් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත දන්වා ඇත.

 ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි, අදාළ විෂය භාර රාජ්‍ය  අමාත්‍යවරුන් වෙත විෂයන් හා කාර්යයන් නිශ්චිතවම පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය  පියවර ගන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම අමාත්‍යංශ වල ලේකම්වරුන්ට මේවනවිට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(5) යටතේ විෂයන් හා කාර්යයන් පැවරීම' යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කර ඇති එම ලිපියේ මෙසේ සඳහන්වේ.

''අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සඳහා විෂයන් හා කාර්යයන් පැවරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරි පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට 2019/12/10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සියලුම අමාත්‍යවරුන්ගේ එකඟතාවය හා අනුමැතිය ලැබි ඇත.

එකී අනුමැතිය පරිදි ඔබගේ අමාත්‍යංශයට අදාල වන රාජ්‍ය අමාත්‍යංශ සඳහා වෙන්කර දිය යුතු විෂයන් හා කර්තව්‍යයන් ඊට අදාල ආයතන හා අණපනත් සහිත ලේඛනය මේ සමග අමුණා ඇත.

ඒ අනුව උක්ත විෂයන් හා කාර්යයන් අදාළ විෂය භාර රාජ්‍ය  අමාත්‍යවරයා / රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිතවම පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරිම සඳහා අවශ්‍ය  පියවර ගන්නා මෙන් අතිගරු ජනාධිපති තුමාගේ නියමය පරිදි කාරුණිකව දන්වා සිටිමි.

එසේම ඊට අමතරව තවදුරටත් ඔබගේ ගරු අමාත්‍යතුමා විසින් රාජ්‍ය අමාත්‍යතුමා වෙතින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරනු ලබන කාර්යයන් ඇත්නම්, ඊට අදාල ආයතන, විෂයන් හා කාර්යයන් සහ අණපනත්ද උක්ත ගැසට් නිවේදනයට ඇතුලත් කිරීමට පියවර ගන්නා මෙන් තවදුරටත් දන්වා සිටිමි.''

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර නිකුත්කළ අදාළ ලිපිය පහත දැක්වේ.

 IMG 20200102 WA0003

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න